ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය Zoom හරහා

234

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය නියමිත පරිදි ලබන 20 වැනිදා පවත්වන බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සාමාජික අමල් එදිරිසූරිය මහතා පවසනවා.

නිලවරණය අන්තර්ජාල හරහා ‘Zoom’ තාක්‍ෂණය ඔස්සේ පවත්වන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව එහි ඡන්දය අත් ඔසවා ප්‍රකාශ කිරීම හේතුවෙන් නිලවරණයට ඉන් කිසිදු ගැටලුවක් නොමැති බවත් එදිරිසූරිය මහතා පවසනවා.

තවත් ක්‍රිකට් පුවත්:

 

 

අවසන් වරට පැවති ක්‍රිකට් නිලවරණයේ දී සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්ද 27කින් තේරී පත් වුනා. එම නිලවරණයේ දී ශම්මි සිල්වා මහතාට ඡන්ද 83ක් හිමි වූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා ලෙස නිලවරණයට ඉදිරිපත් වූ ජයන්ත ධර්මදාස මහතාට හිමි වූ ඡන්ද ගණන 56ක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිල මඬුල්ලේ ධූර කාලය පසුගිය අප්‍රේල් 5 වැනිදායින් අවසන් වුනා.

ඒ නිසාවෙන් අප්‍රේල් 6 වැනිදා සිට නව නිලධාරි මඩුල්ලක් පත්වන තෙක් ගරු තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරනු ලැබුවා.

එම කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතායි. ඈෂ්ලි ද සිල්වා මහතා ලේකම් ධුරයටත්, සුජීව මුදලිගේ මහතා භාණ්ඩාගාරික ධුරයටත් පත් කර තිබෙනවා. නීතිඥ උචිත වික්‍රමසිංහ මහතා කමිටුවේ සාමාජිකයෙකු වන අතර, අමල් එදිරිසූරිය මහතා එහි නිරීක්ෂකයෙක් වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී මේ මස 20 වැනිදා පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ සභාපති, උප සභාපතිවරු දෙදෙනෙක්, ලේකම්වරයෙක් ඇතුළු නිලධාරි මණ්ඩලයක් මෙහි දී තෝරා ගැනීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<