Brook පිත්තෙන් මදිවට කටිනුත් පහර දෙයි!

IPL 2023

5659
Harry Brook slams a ipl hundred

ඉන්දියානු රුපියල් කෝටි 13.25ක් වැනි අතිවිශාල මුදලකට Sunrisers Hyderabad විසින් ඩැහැගත් Harry Brook මෙවර IPL තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරග තුනේ දී ම ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 29ක් පමණයි.

මේ සමඟ සමාජ මාධ්‍යවලින් විශේෂයෙන්ම ඉන්දියානුවන්ගේ දැඩි දෝෂාරෝපණයට Brookව භාජනය වීම ආරම්භ වූ අතර ඔහු වියදම් කළ මුදලට නොවටිනා බවට හංවඩු ගැසීම ද ආරම්භ වෙමින් පැවතුණා.

නමුත් ඊයේ දිනයේ මෙම සියලු චෝදනාවන්ට සිය පිත්තෙන් පිළිතුරු දීමට Brook විසින් සමත් වුනේ මෙවර IPL තරගාවලියේ පළමු ශතකය ලෙස Kolkata Knight Riders කණ්ඩායමට එරෙහිව පන්දු 55කින් නොදැවුණු ලකුණු 100ක් වාර්තා කිරීමෙනුයි.

එමෙන්ම තමන්ට එරෙහිව හඬ නැඟූ සියල්ලන්ට ම පිත්තෙන් පහර දීමෙන් අනතුරුව සිය වචනවලින් ද පහර දීමට අමතක නොකළ Brook තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේ, විරුද්ධවාදීන් ව නිහඬ කිරීමට හැකි වීම පිළිබඳ ව තමන් සතුටු වන බවයි.

“මම මටම තරමක පීඩනයක් යොදමින් සිටියා. ඔබ සමාජ මාධ්‍ය වලට ගියා ම දකින්නේ මිනිස්සු ඔබව කුණු ගොඩකට සමාන කරලා කතා කරන විදිහ. අද රෑ මම හොඳින් කළ බව කියන බොහෝ ඉන්දියානු රසිකයින් ඉන්නවා. නමුත් ඔවුන් දින කිහිපයකට පෙර මට මඩ ගැහුවා. අවංකව ම ඔවුන්ගේ කටවල් වහන්න හැකි වීම ගැන මට සතුටුයි.”

තරගයෙන් අනතුරුව Brook විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

අනාගත ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ තරුවක් වන ලකුණු ලොවට ම විදහා දක්වමින් ඕනෑම තරග ස්වභාවයක් අනුව තමන්ට වෙනස් වීමට ඇති හැකියාව ද පෙන්වා ඇති Brook විසින් දැනට ටෙස්ට් ශතක හතරක ද හිමිකරුවෙක් වනවා. එමෙන්ම ඔහු ඊයේ ලබා ගත් ශතකයට වඩා එම ශතක වල (ටෙස්ට් ශතක) වටිනාකම වැඩි බවත් Brook විසින් ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම මෙතෙක් කල් එංගලන්තය නියෝජනය කරමින් මැද පෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ Brook විසින් මෙවර IPL තරගාවලියේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනවා ද දකින්නට ලැබුණා.

“ගොඩක් දෙනා කියන්නේ විස්සයි විස්ස තරගවල ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීම තමයි හොඳම දේ කියලා. මම ඕනම තැනක පිතිකරණයේ යෙදෙන්න කැමතියි. අංක පහ ස්ථානයේ ක්‍රීඩා කරලත් මම ගොඩක් සාර්ථක වෙලා තියෙනවා.”

කෙසේ වෙතත් මෙවර Sunrisers Hyderabad වෙනුවෙන් ආරම්භක පිතිරුවෛකු ලෙස Brook සිය වටිනාකම දැන් පෙන්වා අවසානයි.

මෙවර IPL තරගාවලියේ සියලු තතු විත්ති මෙන්ම තරගාවලියේ සියලු තරග සජීවීව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Time of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<