සාග් කළමනාකාරිත්වයේ දුර්වලතාවෙන් රන් පදක්කමක් අහිමි වේ – #SAG2016 සත්වැනි දිනය

702
මැරතන් ඉසව්වෙන් රිදි සහ ලෝකඩ පදක්කම්

12වැනි දකුණු  ආසියානු තරඟාවලියේ සත්වැනි දිනය වු අද දිනය නිමා වන විට රිදි පදක්කම් 03කින් හා ලෝකඩ පදක්කම් 02කින් සෑහීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

 සාග් තරඟාවලියේ සියළු ලිපි සඳහා පිවිසෙන්න 

රන් පදක්කමක් පෙනෙන මානයේ සිටි ප්‍රවීණ මැරතන් ධාවක අනුරාධ ඉන්ද්‍රජිත්ට ඇසට පෙනෙන මානයේ තිබු රන් පදක්කම කළමනාකාරීත්වයේ දුර්වලතා නිසා මඟ හැරිනි. ඒ තරඟය අවසන් කිරීමේ ස්ථානය සම්බන්ධව නිවැරදි ස්ථානයක් කළමනාකාරීත්වය විසින් ඔහුට  ලබා නොදීම නිසාවෙනි. තරඟයට සහභාගි වූ ක්‍රීඩකයින් මේ සම්බන්ධව මැසිවිලි නැඟු අතර විදෙස් මාධ්‍ය ද මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළේය.

මළල ක්‍රීඩා

කාන්තා මැරතන් ධාවන ඉසව්ව නියෝජනය කළ එන්.ජී. රාජසේකර එම ඉසව්ව පැය 2 විනාඩි 50 තත්පර 47 කින් නිම කරමින් එහි රිදි පදක්කම දිනාගන්නට සමත් විය. එම ඉසව්වම නියෝජනය කළ ජි.එල්. අනුරාධි එම ඉසව්ව පැය 2 විනාඩි 52 තත්පර 15 අැතුලත නිම කරමින් ලෝකඩ පදක්කම ද දිනාගනු ලැබීය.

පිරිමි මැරතන් තරඟය සදහා සහභාගි වු අනුරාධ ඉන්ද්‍රජිත් එම ඉසව්ව පැය 2 විනාඩි 15 තත්පර 19 කින් නිම කරමින් එහි රිදි පදක්කම දිනාගන්නට සමත් විය. ඉසව් දෙකෙහිම රන් පදක්කම් ඉන්දියාවට හිමි විය.

 අද දවසේ ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 19ක් – #SAG2016 සයවැනි දිනය 

ඉලක්කයකට වෙඩි තැබිම

මිලිමිටර් 25 පිස්තෝල ඉලක්කයකට වෙඩි තැබිමේ කණ්ඩායම් තරඟ  ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ථ ලකුණු 1603.22 ලබාගනිමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගනු ලැබීය. එස්. ප්‍රනාන්දු, එම්.පි පතිරණ සහ ජී.එස් වෙල්ගම එම ඉසව්ව නියෝජනය කරමින් තරඟ  කරනු ලැබීය.

හොකි තරඟ

හොකි අවසන් තරඟය ඊයේ ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර පැවතිණි. එහිදි ලකුණු 10-0ක් ලෙස තරඟය ජයගත් ඉන්දියාවට එහි රන් පදක්කම හිමි වු අතර ශ්‍රී ලංකාවට රිදි පදක්කම හිමි විය.

මේ වන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් 25 ක් රිදි පදක්කම් 53ක් ලෝකඩ පදක්කම් 79ක් සමඟින් සමස්ථ පදක්කම් 157ක් ලබාගෙන පදක්කම් සටහනේ සිය සුපුරුදු දෙවැනි ම ස්ථානයේ රැදි සිටියි.

ශ්‍රී ලංකා හොකි කණ්ඩායම තම පදක්කම් අතැතිව
ශ්‍රී ලංකා හොකි කණ්ඩායම තම පදක්කම් අතැතිව

ඡායාරෑප Organising Committee – XII South Asian Games 2016 අැසුරිනි.