පිට පිටම හයේ පහර 5යි; රිංකු සිං IPL ඉතිහාසය අලුතින් ලියයි!

5296

2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන තෙක් තිබූ තියුණුම සහ උද්වේගකරම තරගය අද (09) අහමදාබාද් හිදී ක්‍රියාත්මක වුනා. ඒ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතරයි.

එහි දී කිහිප වරක්ම ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් ගිය තරගය අවසානයේ Rinku Singh පිට පිටම හයේ පහර 5ක් එල්ල කරමින් කල්කටාවට ජය දිනා දුන්නා.

අද තරගය ඇරඹෙන්නේ ගුජරාට් ටයිටන්ස් නායක Rashid Khanට කාසියේ වාසිය හිමිකර දෙමින්. ශාරීරික යෝග්‍යතාවය නිසි පරිදි නොතිබීම නිසා ගුජරාට් නිත්‍ය නායක Hardik Pandyaගේ සේවය අද කණ්ඩායමට හිමි වුනේ නැහැ. ඒ වෙනුවට Vijay Shankar අද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළා.

Rashid Khanගේ තීරණය අනුව අද මුලින් පන්දුවට පහර දුන් ගුජරාට් කණ්ඩායම තම පන්දුවාර 20 තුල ලකුණු 204ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමින්. පළමු කඩුල්ල ලෙස Wriddhiman Saha ලකුණු 33 දී දැවී යාමෙන් පසු දෙවැනි කඩුල්ලේ සබඳතාවය 67ක් දක්වා ඉදිරියට ගෙන යන්නට Shubman Gillට සහ Sai Sudharsanට හැකි වුනා.

Shubman Gill අද පන්දු 31කින් ලකුණු 39ක් රැස්කළේ හතරේ පහර 5ක් සමඟයි. Sai Sudharsan අද පිට පිටම දෙවැනි අර්ධ ශතකයත් වාර්තා කරමින් පන්දු 38කින් ලකුණු 53ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින්. කෙසේ වෙතත් ඔහු 18 වැනි පන්දුවාරයේ දැවී යන විටත් ගුජරාට් ඉනිමට එකතු වී තිබුණේ ලකුණු 153ක් පමණක් නිසා ලකුණු 200 සීමාව සිහිනයක්වයි පැවතුණේ.

නමුත් තමන්ට ලැබුණු එකම අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් Vijay Shankar අද පන්දු 24කින් ප්‍රවේගකාරී ලකුණු 63ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ අලංකාර හතරේ පහර 4ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමඟයි. මේ නිසාම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට අතිදුෂ්කර අභියෝගයක් කල්කටා පිතිකරුවන් ඉදිරියේ තබන්නට හැකි වුනා. පන්දු යැවීමේ දී Sunil Narine ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තා.

වේගවත් ආරම්භයක් අපේක්ෂාවෙන් පිටියට පිවිසි කල්කටා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අද ලකුණු 28ක් වෙද්දී ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් කිරීමට ගුජරාටයට හැකි වුනා. ඒ පිට පිටම තෙවැනි ජයත් ගුජරාට් ටයිටන්ස් සතුවන බවට ඉඟි පහළ කරමින්. නමුත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නැගූ නායක Nitish Rana සහ Venkatesh Iyer නැවතත් තරගය සමබර කළා.

Nitish Rana තම කෙටි වේගවත් ඉනිම වෙනුවෙන් වැය කළේ පන්දු 29ක් පමණයි. Alzarri Josephගේ පන්දුවක් හමුවේ දැවී යන විට ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 45ක් ලබා සිටියා. කෙසේ වෙතත් Venkatesh Iyer අද ක්‍රීඩා කළ සුපිරි ඉනිම ගුජරාට් ජයට එරෙහිව එල්ල වූ පළමු වෙඩිමුරය ලෙස සැලකිය හැකි. ඔහු පන්දු 40කට පමණක් මුහුණ දී ලකුණු 83ක් රැස් කළේ හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟයි.

ප්‍රේක්ෂක රසාස්වාදය වෙනුවෙන්ම අලුතින්ම නිර්මාණය වූ අහමදාබාද් ක්‍රීඩා පිටියේ අඩුදුර හතරේ සීමා ද Venkateshගේ ඉනිමට ආශිර්වාදයක් වුනා. 16 වැනි පන්දුවාරයේ දී ඔහු දැවී යන විටත් ගුජරාට් ඉනිම ලකුණු 150 පසුකර තිබූ නිසා බොහෝ දෙනා බලාපොරොත්තු වුනේ Andre Russell වැනි පිතිකරුවෙකු වගකීම කරට ගෙන තරගය අවසන් කරනු ඇතැයි කියායි.

නමුත් 17 වැනි පන්දුවාරය ඇරඹූ Rashid Khan තම මුල්ම පන්දු 3ට Andre Russell, Sunil Narine සහ Shardul Thakur දවා ගන්නේ කල්කටා බලාපොරොත්තු තම දෙපා මුල දණ ගස්වමින්. එහි දී Russell ගතේ හයිය ගැන විශ්වාසය තබා එල්ල කළ පහරක් කඩුලු රකින්නාට පහසු උඩපන්දුවක් වෙද්දී, ගුග්ලි පන්දුවකට Sunil Narine වැර යොදා එල්ල කළ පහර හතරේ සීමාව අසල පන්දු රකින්නාගේ දෑත් අතර සැඟව ගියා.

කඩුලු ත්‍රිත්වය වෙනුවෙන් Rashid යැවූ ගුග්ලි පන්දුව වටහා ගැනීමට තරම් Shardul Thakurට පිතිකරණ හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන් කඩුල්ල මුවා කිරීමේ වරද තෙවැනි විනිසුරුට යොමු කළත්, පුනරූපන මගින් ද තහවුරු වුනේ එය නියත දැවී යාමක් බවයි. මේ නිසා අහස උසට අවශ්‍ය කරන ලකුණු වේගය ඉහළ නගින මොහොතක කල්කටාවට අවසන් පන්දුවාරයට ලකුණු 29ක් අවශ්‍ය කළා.

Yash Dayal යැවූ මෙම පන්දුවාරයේ මුල් පන්දුවට එක් ලකුණක් ලබාගෙන Umesh Yadav පිතිකරණ අන්තය Rinku Singhට භාර කරන්නේ ආශ්චර්යක් සිදු කරනවා නම් එය ඔහුට මිස වෙන කළ හැක්කෙක් නොවූ නිසයි. මේ අනුව පන්දු 5කට ලකුණු 28ක් අවශ්‍ය කරන මොහොතක ඉතිරිව ඇති එකම විකල්පය වන හයේ පහරවල් සොරකම් කිරීම Rinku Singh ආරම්භ කළා.

නවක පන්දු යවන්නාගෙන් ලැබෙන මහමෙරක් තරම් වටිනා ෆුල්ටොස් තෑගි වලින් උපරිම ඵල නෙලා ගන්නා Rinku Singh පළමු පන්දු 3ම පිටියෙන් එලියට යවන්නේ Dayalව බියෙන් තැති ගන්වමින්. මේ මොහොතේ Rashid Khan සහ David Miller අතර සංවාදයකින් පසු ඔහු වේගය අඩාල කළ පන්දුවක් යොමු කළත් පන්දුව පිත්තට ලැබෙන තෙක් ඉවසා සිටි Rinku Singh එය ලෝන්ග්-ඕන් දෙසින් හයේ පහරක් බවට පත් කළා.

අවසන් පන්දුවට ලකුණු 4ක් අවශ්‍ය වටපිටාවක Rinku Singh නම් මෙම අපූර්ව පිතිකරුවා IPL ඉතිහාසයට තවත් විශිෂ්ටතම තරගයක නව පරිච්ඡේදයක් එකතු කරන්නේ තවත් දැවැන්ත හයේ පහරකින් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආශ්චර්‍යමත් ජයග්‍රහණය තහවුරු කරමින්. තරගය අවසන් වන විට ඔහු පන්දු 21කින් ලකුණු 48ක් ලබා සිටියේ එක් හතරේ පහරක් සහ හයේ පහර 6ක් සමඟින්.

ගුජරාට් ටයිටන්ස් – කඩුලු 4ක් දැවී ලකුණු 204 (පන්දුවාර 20): Vijay Shankar 63*, Sai Sudharsan 53, Shubman Gill 39, Wriddhiman Saha 17, Abhinav Manohar 14, Sunil Narine 3/33, Suyash Sharma 1/35

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 207 (පන්දුවාර 20): Venkatesh Iyer 83, Rinku Singh 48, Nitish Rana 45, Rahmanullah Gurbaz 15, Rashid Khan 3/37, Alzarri Joseph 2/27, Mohommed Shami 1/28.

මෙය IPL ඉතිහාසයේ එක් පන්දුවාරයක දී හයේ පහර 5ක් එල්ල කළ පස්වැනි අවස්ථාව ලෙසත්, Yash Dayal ලබා දුන් ලකුණු 69 පන්දු යවන්නෙකු ලබා දුන් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසත් ඉතිහාසගත වුනා.

එසේම අවසන් පන්දුවාරයේ දී සපුරා ගත් වැඩිම ලකුණු ගණන ලෙස ද IPL පුරාවෘතවල ලියැවෙන්නේ Rinku Singh ලබා ගත් මෙම ලකුණු 29යි. තරගයේ වීරයා සම්මානය වෙනුවෙන් ඔහු තරම් සුදුස්සෙක් කණ්ඩායම් දෙකෙන්ම සොයා ගැනීමට හැකි වුනේ නැහැ.

IPL තරගාවලියේ 14 වැනි තරගය ලෙස පංජාබ් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් මේ වන විට තරග වදිමින් සිටින අතර එහි සජීවී දසුන් ඔබට ThePapare.com වෙබ් අඩවියෙන් රස විඳිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<