හැරීගේ ඉන්ද්‍රජාලික ශතකය නිසා සන්රයිසස් යළි පණ ලබයි

651
Kolkata Knight Riders vs Sunrisers Hyderabad
Credit : BCCI

2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු ශතකය වාර්තා කරන්නට ඊයේ (14) එංගලන්ත ප්‍රහාරක පිතිකරු Harry Brook සමත් වුනා. මේ නිසාම ඔහු නියෝජනය කරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ දී ම කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කිරීමට හැකි වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කල්කටා නායක Nitish Rana මුලින් පන්දුවට පහර දීමට සන්රයිසස් කණ්ඩායමට ආරාධනා කරන්නේ සිදු වන්නට ඇති දේ ගැන දශමයක හෝ අදහසකින් තොරවයි.

ඒ අනුව ඉනිම ඇරඹූ එංගලන්ත පිතිකරු Harry Brook පළමු පන්දුවාරයේ දී ම Umesh Yadavට හතරේ පහර 3ක් එල්ල කරමින් මෙම සුපිරි ඉනිමට මුල පිරුවා. නැවතත් තෙවැනි පන්දුවාරයේ දී Yadavවම ඉලක්ක කරන ඔහු පිට පිටම හයේ පහර 2ක් එල්ල කරන්නේ තරගය නැරඹීමට පැමිණ සිටි බහුතර කල්කටා ප්‍රේක්ෂකයින්ගේ නළල රැළි ගන්වමින්.

නමුත් පස්වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Andre Russell විසින් Mayank Agarwal සහ Rahul Tripathi ලකුණු 9 බැගින් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කරන්නේ සන්රයිසස් ඉනිම ලකුණු 57ට කඩුලු 2ක් බවට පරිවර්තනය කරමිනුයි.

එතැන් පටන් Brookට ගැලපෙනම පිතිකරණ සගයා හමු වූ අතර තෙවැනි කඩුල්ලට පන්දු 47ක දී වේගවත් ලකුණු 72ක් එක් කරන්නට නායක Aiden Markramට හැකි වුනා. ඩීප් මිඩ්-විකට් ඔස්සේ එල්ල කළ හයේ පහරකින් Markram ඊයේ තම අර්ධ ශතකය රැස් කරගන්නා විට මුහුණ දී සිටියේ පන්දු 26කට පමණයි.

මැදපෙළ පිතිකරු Abhishek Sharmaගේ ඉනිම කෙටි වුවත් සන්රයිසස් ලකුණු වේගය එලෙසින්ම පවත්වා ගෙන යාමට වැදගත් වුනා. පන්දු 17කින් ඔහු ලබාගත් ලකුණු 32ට හතරේ පහර 3ක් සහ හයේ පහර ද්විත්වයක් ඇතුළත් වුනා. 15 වැනි පන්දුවාරයේ දී Lockie Fergusonට එරෙහිව ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වූ Harry Brook තම ශතකයට ඉව අල්ලන්නට පටන් ගන්නේ මේ අතරයි. සන්රයිසස් ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ඔහු සාර්ථක වන්නේ පන්දු 55කින් තම වේගවත් ශතකය සම්පූර්ණ කර ගනිමින්.

IPL පිටියේ තම පෞද්ගලික පළමු ශතකය ලෙස Brook ක්‍රීඩා කළ මෙම විශිෂ්ට ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුනා. ඉනිමේ අවසන් කොටසේ දී Heinrich Klaasen පන්දු 6ක දී ලබා ගත් ලකුණු 16 උදව්වෙන් සන්රයිසස් කණ්ඩායමට IPL ඉතිහාසයේ මෙතෙක් හඹාගොස් නොමැති ලකුණක් වන ලකුණු 228ක් දක්වා ඉනිම ඔසවා තබන්නට හැකි වුනා. සියලු පන්දු යවන්නන් ප්‍රහාරයට හසු වෙද්දී මේ දිනවල පිත්ත නිහඬ වී ඇති Andre Russell කඩුලු 3ක් බිඳ හෙළුවා.

මෙම දැවැන්ත අභියෝගය හඹා යන්නට උත්සාහ කළ කල්කටා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 0 දී ම දවා ගන්නට Bhuvneshwar Kumar සමත් වුනා. එහි දී Rahmanullah Gurbaz තර්ඩ්මෑන් හි පන්දු රැකි Umran Malik අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියා. දකුණු අප්‍රිකානු ක්‍රීඩක Marco Jansen ක්‍රියාත්මක කළ සිව්වැනි පන්දුවාරයේ Venkatesh Iyer සහ Sunil Narine දැවී යාමත් සමඟ කල්කටා ඉනිම ලකුණු 20ට කඩුලු 3ක් දැවී ගොස් අසරණ වුනා.

නමුත් ප්‍රහාරය නතර නොකළ කල්කටාව හැකි සෑම පන්දුවක්ම හතරේ සීමාවට යොමු කරමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 42ක් එක්කළා. එහි දී Umran Malik ක්‍රියාත්මක කළ අවසන් පවර්ප්ලේ පන්දුවාරය සුවිශේෂී වූ අතර කල්කටා නායක Nitish Rana හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ මුළු ලකුණු 28ක් එම තනි පන්දුවාරය තුල දී සොරා ගන්නට සමත් වුනා. Jagadeesan පන්දු 21කින් ලකුණු 36යි.

මේ වන විට පා දඟපන්දු භීතිකාවකට ලක්ව ඇති Andre Russell ඊයේත් ලකුණු 3කට දැවී ගියේ Mayank Markandeගේ පන්දුවක් හමුවේයි. ඔහු අවසන් ඉනිම් 3 දී ම තමන්ටම ආවේණික ප්‍රහාරය එල්ල කරන්නටත් පෙරම දැවී ගියේ පා දඟපන්දු යවන්නන් හමුවේයි. අවසන් පන්දුවාරයේ දී ලකුණු 29ක් ලබා ගනිමින් ගුජරාට් ටයිටන්ස් නියත ජය උදුරා ගැනීම නිසා එක රැයින් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ Rinku Singh ඊයේත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 31කින් නොදැවී ලකුණු 58ක් ලබා ගනිමින්.

Rinkuගේ වේගවත් ඉනිමට හතරේ පහර සහ හයේ පහර 4 බැගින් ඇතුළත් වුනේ ඔහු අහමදාබාද් හිදී ක්‍රීඩා කළ ඉනිම අහම්බයක් නොවන බව සපථ කරමින්. කෙසේ නමුත් සන්රයිසස් කණ්ඩායමේ අතිදැවැන්ත අභියෝගය ජය ගන්නට නම් ඊයේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හැකි වුනේ නැහැ. නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන් කඩුලු 7කට ලකුණු 205ක් ලබා සිටියේ තම දළ ලකුණු වේගයට සිදුවීමට ගිය හානිය හැකිතාක් දුරකට අවම කර ගනිමින්.

සන්රයිසස් හයිද්‍රාබාද් – කඩුලු 4ක් දැවී ලකුණු 228 (පන්දුවාර 20): Harry Brook 100*, Aiden Markram 50, Abhishek Sharma 32, Heinrich Klaasen 16, Andre Russell 3/22, Varun Chakaravarthy 1/41.

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 205 (පන්දුවාර 20): Nitish Rana 75, Rinku Singh 58*, N Jagadeesan 36, Shardul Thakur 12, Venkatesh Iyer 10, Mayank Markande 2/27, Marco Jansen 2/37, Bhuvneshwar Kumar 1/29.

තරගයේ වීරයා සම්මානය 24 හැවිරිදි දකුණත් පිතිකරු Harry Brookට හිමි වුනා. IPL පිටියේ අද (15) තරග 2ක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය සවස 3.30ටත්, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ පංජාබ් කිංග්ස් අතර තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ වීමට නියමිතයි. එම තරගවල උණුසුම සජීවීව විඳ ගැනීමට පිවිසෙන්න ThePapare.com වෙබ් අඩවියට!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<