ලකුණු 400 ඉක්මවූ තරගයෙන් ලක්නව් පරදා සුපර් කිංග්ස් ජය ලබයි

1889

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ ඊයේ (03) රාත්‍රියේ පැවැත්වුනු තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුනා.

ලකුණු 400කට වැඩියෙන් වාර්තා වූ මෙම තරගයේ දී ඔවුන් හමුවේ පරාජය වුනේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.

චෙන්නායි බලකොටුව වන MA චිදම්බරම් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිවුනේ ලක්නව් නායක KL Rahulටයි. ඔහු ඒ අනුව පිතිකරණ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට තිලිණ කළත්, එය එතරම් සුබ ප්‍රතිඵල ගෙන ආවේ නැහැ.

චෙන්නායි ඉනිම ඇරඹූ Ruturaj Gaikwad සහ Devon Conway පළමු කඩුල්ලටම ශතක සබඳතාවයක් ගොඩ නැගුවා. පසුගිය තරගයේ දී ලකුණු 92ක් ලබා ගත් Gaikwad අදත් අර්ධ ශතකයක් තම නම ඉදිරියෙන් සටහන් කර ගත්තේ පන්දු 31කින් ලකුණු 57ක් රැස් කරමින්. ඒ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟයි.

පන්දු 29කින් ලකුණු 47ක් ලබාගත් Devon Conwayට අවාසනාවන්ත ලෙස අර්ධ ශතකය මගහැරී ගියා. ඒ Mark Woodගේ පන්දුවක් හමුවේයි. Conway තම ඉනිම පුරාවට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එල්ල කළා. මේ නිසාම සෙසු පිතිකරුවන්ට විශාල ඉනිම් ගොඩ නැගීමට වඩා අවශ්‍ය කෙරුනේ ලකුණු වේගය පවත්වාගෙන යාමයි.

එය අකුරටම ඉටු කළ Shivam Dube ලකුණු 27ක් රැස් කිරීමට වැය කළේ පන්දු 16ක් පමණයි. ඊට එක් හතරේ පහරක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුනා. තවත් එවැනිම ඉනිමක් ක්‍රීඩා කළ Ambati Rayudu පන්දු 14කින් නොදැවී ලකුණු 27ක් ලබා ගත්තා. Stokes සහ Jadeja දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට සමත් වුනේ නැහැ.

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී MS Dhoni ලක්නව් හොඳම පන්දු යවන්නා වන Mark Woodට පිට පිටම හයේ පහර 2ක් එල්ල කිරීමට සමත් වුනා. ඒ තම කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 217ක් දක්වා ඉහළට ගෙන යමින්.

පැයට කිලෝමීටර් 150කට ආසන්න වේගයෙන් පැමිණි පළමු පන්දුවට වේගවත් කට් පහරක් එල්ල කළ Dhoni දෙවැනි පන්දුව ප්‍රේක්ෂකයින් අතරට ඇද දැම්මේ අලංකාර පුල් පහරක් මගින්. තරමක ප්‍රහාරයට ලක් වුනත් Mark Wood සහ Ravi Bishnoi ඊයේ කඩුලු 3 බැගින් දවා ගත්තා.

චෙන්නායිවරු ලබා දුන් අති දුෂ්කර ඉලක්කය හඹා යාමට නම් Kyle Mayers වැනි ප්‍රවේගකාරී පිතිකරුවෙකු සාර්ථක වීම අත්‍යාවශ්‍ය මොහොතක ඔහු තම රාජකාරිය ඉටු කිරීමට සමත් වුනා. Mayers තම ලකුණු 53 ලබා ගැනීමට වැය කළේ පන්දු 22ක් පමණයි. ඒ අතරේ ඔහු වේගවත් හතරේ පහර 8ක් සහ දැවැන්ත හයේ පහර 2ක් එල්ල කළා.

කෙසේ නමුත්, ලකුණු අතර සිටින ඔහු කෙසේ හෝ කඩුල්ලේ රැඳී සිටියා නම් ලක්නව් කණ්ඩායමට මෙම තරගය පහසුවෙන් ජය ගැනීමට තිබුණා. නමුත් දිගින් දිගටම ප්‍රහාරයටම උත්සාහ දැරූ Mayers අවසානයේ සබඳතාවය බිඳ වැට්ටවීමේ අරමුණින්ම පන්දු යැවීමට පැමිණි Moeen Aliට ගොදුරු වුනා.

පළමු කඩුල්ලට පන්දුවාර 5.3ක් තුල ලකුණු 79ක් එක්වී තිබූ අවස්ථාවක Deepak Hooda වැනි පිතිකරුවෙකු පිටියට එවීම ලක්නව් කණ්ඩායමට අවාසනාව ගෙන ආවා. ඔහු පන්දු 6කට මුහුණ දී ලකුණු 2ක් පමණක් ලබා ගැනීමත්, Krunal Pandya ලකුණු 9කට දැවී යාමත් නිසා තරගයේ වාසිය නැවතත් චෙන්නායි වෙතට ඇදී ගියා.

මෙවන් අවස්ථාවලින් ප්‍රයෝජන ගෙන හොඳින් හුරුපුරුදු Dhoni අවසානයේ ලකුණු 12ක ජයක් කරා චෙන්නායි මෙහෙයවන්නේ තමන්ට සිටින සීමිත පන්දු යවන්නන් කිහිප දෙනා මැනවින් භාවිතා කරමිනුයි. එහි දී Nicholas Pooran පන්දු 18කින් ලකුණු 32ක් ලබාගෙන යම් උත්සාහයක් ගත්ත ද, එය සාර්ථක වුනේ නැහැ.

පන්දු යැවීමේ දී Moeen Ali පූර්ණ කාලීන දඟපන්දු යවන්නෙකුගේ භූමිකාව රඟ දැක්වූ Moeen Ali තම පන්දුවාර 4 නිමා කළේ ලකුණු 26ට කඩුලු 4ක්ම දවා ගනිමින්. මේ නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි වුනා. මෙය චෙන්නායි කණ්ඩායම මෙවර තරග වාරයේ ජය ගත් මුල්ම තරගයයි.

චෙන්නායි සුපර් කිංග්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 217 (පන්දුවාර 20): Ruturaj Gaikwad 57, Devon Conway 47, Ambati Rayudu 27*, Shivam Dube 27, Moeen Ali 19, Ravi Biahnoi 3/28, Mark Wood 3/49.

ලක්නව් සුපර් ජයන්ට්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 205 (පන්දුවාර 20): Kyle Mayers 53, Nicholas Pooran 32, Ayush Badoni 23, Marcus Stoinis 21, KL Rahul 20, Moeen Ali 4/26, Tushar Deshpande 2/45.

IPL තරගාවලියේ සත්වැනි තරගය අද (04) ක්‍රියාත්මක වන්නේ දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් දෙක අතරයි. අද දිනයේ එක් තරගයක් පමණක් පැවැත්වෙන නිසා එය රාත්‍රී 7.30ට ඇරඹෙනවා.

එය සජීවීව රස විඳින්නට ThePapare.com වෙබ් අඩවියට පිවිසෙන ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<