මහීෂ් විස්සයි ශ්‍රේණිගත කිරීමේ පළමු 10ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

426
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ක්‍රීඩකයින් දස දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා.

නවසීලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසා 12 වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ඔහුට හැකිව තිබෙන අතර වනිඳු හසරංග තවමත් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

එම තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගයේ දී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක 35 වැනි ස්ථානයේ සිට ස්ථාන 12ක් ඉදිරියට පැමිණ George Munsey සමඟ 23 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

වර්තමානයේ කැපී පෙනෙන දස්කම් දක්වන නවසීලන්ත ක්‍රීඩක Daryl Mitchell පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 25 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන අතර බංග්ලාදේශ ක්‍රීඩක Litton Das 21 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය තවමත් Shakib Al Hasanට හිමිව තිබෙන අතර ඔහු පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ද 62 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව අගනා ලකුණු 175ක් ලබා ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩක Aiden Markram එක්දින පිතිකරුවන් අතර 13 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන්නේ 41 වැනි ස්ථානයේ සිටයි.

එමෙන්ම ඔහු තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීමේ 32 වැනි ස්ථානයේ සිට ස්ථාන 16ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගාවලියේ දී දස්කම් දැක්වූ නෙදර්ලන්ත ක්‍රීඩකයින් වන Max O’Dowd (75), Vikramjit Singh (109) සහ  Teja Ndiamanuru (138) එක්දින පිතිකරුවන් අතරට පෙරමුණට පැමිණ තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩක Shubman Gill මෙවර ශ්‍රේණිගත කිරීමේ හතරවැනි ස්ථානයට පැමිණ සිය ක්‍රීඩා දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම් ස්ථානය ලබා තිබෙනවා.

නවසීලන්ත ක්‍රීඩක Henry Nicholls පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ 69 වැනි ස්ථානය දක්වා සහ Will Young, 143 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන අතර ඔවුන්ගේ දස්කම් සමඟ ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ද නවසීලන්තයට හැකි වුනා.

නවසීලන්ත ක්‍රීඩක Matt Henry එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 10 වැනි ස්ථානයට පැමිණෙද්දී, දකුණු අප්‍රිකා ක්‍රීඩක Sisanda Magala 165 වැනි ස්ථානයට පැමිණ තිබෙන්නේ නෙදර්ලන්තයට එරෙහි තරගාවලියේ දැක්වූ දස්කම් නිසයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<