මොළෙන් ක්‍රිකට් ගැසූ Shikhar රාජස්ථානය දණ ගස්වයි

3133
Punjabi Kings vs Rajasthan Royals

Shikhar Dhawan සහ Nathan Ellisගේ සුවිශේෂී දක්ෂතා නිසා ප්‍රබල රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 5කින් පරාජය කිරීමට ඊයේ (05) පංජාබ් කිංග්ස් කණ්ඩායමට හැකි වුනා.

එහිදී නවක ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් වන Prabshimran Singh සහ Dhruv Jurel ක්‍රීඩා කළ අපූරු ඉනිම් දෙකත් බොහෝ දෙනා අතර කතාබහට ලක්වුනා.

රාජස්ථාන් ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දුන් Shikhar Dhawan සහ Prabshimran Singh අතින් පංජාබ් ඉනිම ඇරඹෙන්නේ ලකුණු 90ක සුපිරි සබඳතාවයක් සමඟයි. එහි දී මෙතෙන් කලක් බොහෝ දෙනාගෙන් වසන් වී සිටි Prabshimran Singh ක්‍රිකට් ලෝකයේ ඇස් තමන් වෙතට හරවා ගන්නේ කිසිඳු චකිතයකින් තොරව Guwahati පිටියේ සතර කොනම සොයා යමින්.

ඔහු එල්ල කළ හතරේ පහර 7ත් හයේ පහර 3ත් දකිද්දී ඉන්දීය සුපිරි පිතිකරුවෙකු සිහියට නැගුනත්, එම මට්ටමට ළඟා වීමට නම් 22 හැවිරිදි ඔහු තවත් බොහෝ දුර යා යුතුව තිබෙනවා. රාජස්ථාන පන්දු යවන්නන්ට කිසිදු ගරුත්වයක් නොපෙන්වූ Prabshimran අද පන්දු 34කින් ලකුණු 60ක් රැස් කළා.

තම සගයා ලකුණු සොයා යන අයුරු අනෙක් අන්තයේ සිට බලා සිටි නායක Dhawan ඔහු දැවී යාමත් සමඟ තම ලකුණු වේගය වැඩි කළා. නමුත් ඒ Prabshimranට වඩා සෑහෙන වෙනස් ශෛලියකින්. ජාත්‍යන්තර අත්දැකීම් රැසක් පොදි බැඳගත් Dhawan ශරීර ශක්තියට වඩා පිටියේ ක්‍රීඩකයින් සැකැස්ම සහ අවස්ථා කළමනාකරණය කර ගනිමින් ගොඩ නැගූ ඉනිම ඇසට ප්‍රිය උපදවන්නක් වුනා.

සාමාන්‍යයෙන් සංගක්කාර සහ මාලිංග දෙදෙනාගේම උපදේශකත්වය සහිත රාජස්ථානය තරග සැලසුම් අතින් ඉදිරියෙන් සිටියත්, අද Shikhar ඔවුන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටියේ පන්දු 56ක දී නොදැවී ලකුණු 86ක් රැස් කරමින්. ඔහු බොහෝ අවස්ථාවල දී පිටියේ පන්දු රකින්නන් නැති ප්‍රදේශ සොයා ගනිද්දී, රාජස්ථානය එම හිඩැස් පුරවන සෑම අවස්ථාවකම දකුණත් පිතිකරුවෙකු බවට පත්වෙමින් Switch Hit පහරෙන් ලකුණු සොරා ගත්තා.

මේ නිසාම පංජාබ් ඉනිම නිමා වන්නේ කඩුලු 4කට දැවැන්ත ලකුණු 197ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්. ඒ වෙනුවෙන් Jitesh Sharma ද පන්දු 16කින් ලකුණු 27ක් ලබාගෙන දායකත්වය දැක්වූවා. ලෝක කුසලානයේ සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් තනිවම දුන් සටන නිසා IPL වරම් ලද Sikandar Raza මේ තරගයේ දීත් එක් ලකුණකට දැවී ගියේ ඔහුගේ පිතිකරණ ස්ථානය ගැන තවදුරටත් සැක සංකා ඇති කරමින්.

අද පිතිකරණය සඳහා පැමිණ වැඩි වේලා ක්‍රීඩා කරන්නට භානුක රාජපක්ෂට වාසනාව නොලැබුනේ ආබාධයකට ලක්වීම නිසා නැවත ප්‍රතිකාර සඳහා හැරී යන්නට සිදු වූ නිසයි. එහි දී Shikhar Dhawan ඉතා වේගයෙන් එල්ල කළ පහරක් මග හැර හතරේ සීමාව වෙත යැවීමට උත්සාහ කළ භානුකගේ දකුණු අතේ පන්දුව තදින් ගැටුණා. ඔහුගේ තත්ත්වය ගැන වැඩිදුර වාර්තා තවමත් ලැබී නැහැ.

ලකුණු 200කට ආසන්න අභියෝගයක් වෙනුවෙන් පිටියට පිවිසි රාජස්ථානය Ravichandran Ashwinට ආරම්භක පිතිකරුවෙකු ලෙස උසස්වීම් ලබා දී තිබුණා. ඒ විශිෂ්ට උඩපන්දු දෙකක් ලබා ගත් Jos Buttler ඒ අතරේ දී සුළු ආබාධයකට ලක්ව සිටි නිසයි. නමුත් ඔහුට පන්දු 4කට මුහුණ දී කිසිදු ලකුණක් රැස් කිරීමට හැකිවුනේ නැහැ.

සන්රයිසස් කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් ලබා ගත් Yashasvi Jaiswal ඉනිමේ පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් ආරම්භය ලබා ගත්තත්, ලකුණු 11 දී පහසු උඩපන්දුවක් ලබා දී දැවී ගියා. විශාල ඉනිමකට ඉව අල්ලමින් සිටි Jos Buttler දැවී යන්නේ Nathan Ellis පන්දු යවමින්ම රැකගත් දක්ෂ උඩපන්දුවක් නිසයි.

ඊයේ දිනයේත් Sanju Samsonගෙන් ප්‍රවේගකාරී ඉනිමක් දැක ගන්නට ලැබුණු අතර ඔහු ගිලිහෙන ලකුණු වේගය රැකගන්නට උත්සාහ කිරීමේ දී දැවී ගියා. ඒ වෙද්දී Samson පන්දු 25ක දී ලකුණු 42ක් රැස් කරගෙන සිටියා. Riyan Paragගෙන් දැකුම්කළු හතරේ පහරක් සහ හයේ පහර දෙකක් දැක ගන්නට ලැබුණු නමුත් ඔහු ලකුණු 20 දී දැවී ගියා.

මේ අනුව රාජස්ථාන් ඉනිමට ලකුණු 124ක් එක් වෙද්දී කඩුලු 6ක් බිඳ වැටී ගොස් තිබීම නිසා ඔවුන්ට පංජාබ් ඉනිම අසලකටවත් ලං වෙන්නට හැකි වෙතැයි කිසිවෙකු සිතුවේ නැහැ. නමුත් Yuzvendra Chahal වෙනුවට Impact Player ලෙස කණ්ඩායමට පිවිසි 22 හැවිරිදි Dhruv Jurel සහ Shimron Hetmyer ලකුණු 62ක සබඳතාවයක් පිහිටුවමින් පංජාබ් ක්‍රීඩකයින්ගේ නළල රැලි ගැන්වීමට සමත් වුනා.

පන්දු 18කින් ලකුණු 36ක් ලබා ගත් Hetmyer අවසන් පන්දුවාරයේ දී දුවද්දී දැවී ගිය අතර Dhruv Jurel තරගයට නාට්‍යමය අවසානයක් ගෙන එමින් පන්දු 15කින් ලකුණු 32ක් ලබා ගත්තා. අවසන් පන්දුවාර 4ට ලකුණු 69ක් අවශ්‍ය කර තිබූ තැන සිට ලකුණු 5ක ගෞරවාන්විත පරාජයක් දක්වා හෝ රාජස්ථාන් පිතිකරුවන් ලබා දුන් සටන අගය කළ යුතුයි.

Ellis ක්‍රියාත්මක කළ 17 වැනි පන්දුවාරයට ලකුණු 16ක්, Curran යැවූ 18 වැනි පන්දුවාරයට ලකුණු 19ක් සහ Arshdeepගේ 19 වැනි පන්දුවාරයට ලකුණු 18ක් ලබා ගත් රාජස්ථානයට අවසන් පන්දුවාරයට අවශ්‍ය කළේ ලකුණු 16ක් පමණයි. නමුත් කෙසේ හෝ එය රැක දෙන්නට Sam Curran සමත් වුනා. තරගයේ වීරයා ලෙස සම්මාන හිමිවුනේ ලකුණු 30කට ප්‍රතිවාදීන්ගේ වටිනාම කඩුලු 4ක් බිඳ හෙලූ Nathan Ellisටයි.

කිංග්ස් XI පංජාබ් – කඩුලු 4ක් දැවී ලකුණු 197 (පන්දුවාර 20): Shikhar Dhawan 86*, Prabshimran Singh 60, Jitesh Sharma 27, Shahrukh Khan 11, Jason Holder 2/29, Ravichandran Ashwin 1/25.

රාජස්ථාන් රෝයල්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 192 (පන්දුවාර 20): Sanju Samson 42, Shimron Hetmyer 36, Dhruv Jurel 32*, Devdutt Padikkal 21, Riyan Parag 20, Joss Buttler 19, Nathan Ellis 4/30, Arshdeep Singh 2/47.

මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ අංක 1, 2 ස්ථාන දෙක පිළිවෙළින් ගුජරාට් ටයිටන්ස් සහ කිංග්ස් XI පංජාබ් කණ්ඩායම් දෙකට හිමිව තිබෙනවා. IPL තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් අතර තරගය අද රාත්‍රී 7.30ට Eden Garden හිදී පැවැත්වීමට නියමිතයි.

එම තරගය ඇතුළු IPL තරගාවලියේ සියලු තරගවල මිහිර ඔබට ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විඳ ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<