ඉන්දියාව 503/9යි. ශ්‍රී ලංකාව අසාර්ථ ආරම්භයක

India tour of Sri Lanka 

2
India tour of Sri Lanka 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 2 වැනි දිනය (24) අවසන් වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අසාර්ථක ආරම්භයකින් තරගය 2 වැනි දිනය අවසන් කළා.

කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූ අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 8ක් ලබා සිටියා. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රතිවාදී ඉන්දියාවට වඩා තවත් ලකුණු 495ක් පිටුපසිනුයි මේ වන විට පසු වෙන්නේ.

Dhruv Jurel (7) සහ මංගල ටෙස්ට් වරම්ලාභී Saransh Jain (4) පිටියේ නොදැවී රැඳී සිටිය දී අද දිනය ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනාට අද දිනයේ දී ඉන්දීය ඉනිමට එක් කරන්නට ලැබෙන්නේ ලකුණු 7ක් පමණයි.

දිනයේ පළමු කඩුල්ල ලෙසින් Saransh Jain දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 6ක් ලබා සිටියා. එහි දී ද නැවතත් ක්‍රියාත්මක වෙන්නේ අසිත ප්‍රනාන්දු. ඔහුගේ කඩුල්ල දවා ගැනීම ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් වරම්ලාභී කමිල් මිෂාර උඩ පන්දුවක් රැගෙන උදව් කළා.

අනතුරු ව පිටියට එක් වෙන්නේ පෙර දිනයේ ආබාධිත තත්ත්වයක් මත පිටියෙන් ඉවත් ව ගිය Rishabh Pant. ඒ වෙද්දී ලකුණු 3ක් පමණක් ලබා තිබූ ඔහු එම ඉනිමට අද දවසේ දී තවත් ලකුණු 60ක් එක් කිරීමට සමත් වෙනවා.

වේගයෙන් ලකුණු ලබා රැස් කිරිමක නිරත වූ Rishabh Pant පෙර දින සිට පිටියේ නොදැවී රැඳී සිටි Dhruv Jurel අභිබවා යමින් දිනයේ පළමු අර්ධ ශතකලාභියා බවට පත් වූවා. Dhruv Jurel තම අර්ධ ශතකය වාර්තා කළේ ඉන්දීය ඉනිමට ලකුණු 400 ද එක් වූ පසුවයි.

ඔවුන් දෙදෙනා ම තම අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමෙන් අනතුරු ව දිවා විවේකයේ දී එය සැමරූ අතර ඒ වෙද්දී ඉන්දීය ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 419ක් ව තිබුණා.

ඔවුන්ගේ එම සතුට රැඳී තිබුණේ දිවා විවේකය තුළ පමණයි. දිවා විවේකයෙන් පසුව යැවුණ පළමු පන්දුවේ දී ම Rishabh Pant ගේ ඉනිම නිමා වෙනවා. කේශර නුවන්ත ගේ පන්දුවකට ලහිරු උදාර වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී යද්දී පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියා.

තම ටෙස්ට් තරග දිවියේ 21 වැනි අර්ධ ශතකය වාර්තා කළ ඔහු Dhruv Jurel හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 152ක දී ලකුණු 112ක් ද එක් කළා.

ඉන් අනතුරු ව පිටියට එක් වූ Manav Suthar පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා තිබිය දී දැවී යනවා.

තරගය වර්ෂාව හේතුවෙන් තේ විවේකයට පෙර නතර වෙන අතර ඒ වෙද්දී ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 475ක් ලබා සිටි අතර පිටියේ නොදැවී රැඳී සිටි Dhruv Jurel පන්දු 155කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 95ක් ලබා ගනිමින් ද සහ Mohammed Siraj ලකුණු නොලබා ම නොදැවී පිටියේ රැඳී සිටියා.

වර්ෂාවෙන් අනතුරු ව ආරම්භ වූ තරගයේ පන්දුවාර 6ක් පමණක් ක්‍රීඩා කරමින් ඔවුන් ඉනිම අත්හිටුවනවා. ඒ වෙද්දී ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියා. වර්ෂාවට පෙර නොදැවී පිටියේ රැඳී සිටි Dhruv Jurel පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 115ක් ලබා සිටියා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 2 වැනි ශතකයයි.

කඩුලු දවා ගැනීමේ දී පෙර දිනයේ කඩුලු 3ක් ලබා සිටි අසිත ප්‍රනාන්දු අද තවත් කඩුල්ලක් එක් කර ගනිමින් තම කඩුලු ගිණුම කඩුලු 4කින් පෝෂණය කර ගත්තා. ඊට අමතර ව ප්‍රභාත් ජයසූරිය සහ කේශර නුවන්තර කඩුලු ද්විත්වයක් බැගින් ද, ලහිරු කුමාර කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු  ඉනිම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවැරෙන්නේ ලහිරු උදාරට සහ නවක ක්‍රීඩක කමිල් මිෂාරට. නමුත් ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඉනිමේ 8 වැනි පන්දුවේ දී ලහිරු උදාර ලකුණකට දැවී යනවා.

ඒ සමඟින් ම සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ද ලකුණු 2කට ඉන්දීය ක්‍රීඩකයන්ගේ බිල්ලට හසු වෙනවා. ඔහුගේ දැවී යෑමත් සමඟින් තරගය 2 වැනි දිනයට අවසන් වන අතර ඒ වෙද්දී කමිල් මිෂාර පන්දු 5කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Prasidh Krishna සහ Manav Suthar කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දියාව – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 503 (138.0)Yashasvi Jaiswal45, Devdutt Padikkal 117, Shubman Gill 50, Rishabh Pant 63, Ravindra Jadeja 43, Dhruv Jurel නොදැවී 115, අසිත ප්‍රනාන්දු 4/106, ප්‍රභාත් ජයසූරිය 132/2, කේශර නුවන්ත 2/154
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 8 (3.0)

ශ්‍රී ලංකාව ලකුණු 495ක් පිටුපසින්.

මෙම තරගය හෙට (25) 3 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<