Mankad දවා ගැනීමේ වරදක් නැහැ – ක්‍රිකට් මහ ගෙදරින් නිවේදනයක්

England womem vs Indian Womem one day tournament

12327

පසුගිය සෙනසුරාදා Lords ක්‍රීඩාංගණයේ එංගලන්ත සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති එක්දින ක්‍රිකට් තරගයේ දී ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩිකා Deepti Sharma විසින් සිදු කළ Mankad දවා ගැනීම නිතී විරෝධි නොවන බව, ක්‍රිකට් නීති සම්පාදනය කරන, Marylebone Cricket Club විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

Deepti Sharmaගේ මෙම දවා ගැනීම එංගලන්ත ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම හිටපු සහ වර්තමාන ක්‍රීඩකයින්ගේ පවා දැඩි විවේචනයට බඳුන් වන දෙයක් බවට පත්වී තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ පිළිබඳ තම විරෝධය ඉස්මතු කිරීමට ඔවුන් යොමු වී සිටිනවා.

නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්පාදනයේ සහ ජීව ගුණය රැකීමේ භාරකරුවන් වන MCC විසින් සඳහන් කර තිබෙන්නේ එංගලන්තය සහ ඉන්දියාව අතර මෙම තරගය මෙහෙය වූ විනිසුරුවරුන් ඔවුන්ගේ කාර්‍ය භාර්‍යයය ඉතාම නිවැරදිව කර ඇති බවයි.

“සෙනසුරාදා පැවති එම තරගය ඉතාම උද්වේගකර සහ අසාමාන්‍ය අන්දමේ අවසානයක් කරා ඇදී ගිය නමුත්, එම තරගය ඉතාම හොඳින් නියාමනය වූ අතර වෙනත් විශේෂයෙන් සැලකිය යුතු කිසිවක් නොමැත,” යනුවෙන් පවසමින් MCC විසින් මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට 3-0 ක පූර්ණ තරගාවලි ජයක් ලබා දෙමින් ලකුණු 16ක තියුණු ජයක් ලැබූ එම තරගය අවසානයේ දී Deepti Sharma විසින් එංගලන්ත පිතිකාරිණී Charlotte Dean ව දවා ගනිමින් කළ ක්‍රියාවෙන් ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් වූ බව පවසමින් හිටපු සහ වත්මන් එංගලන්ත ක්‍රීඩකයින් රැසක් සිය අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා.

“Mankad නීති වල තියෙනවා තමයි, ඒක මෙහෙම පාවිච්චි කළ යුතු උපක්‍රමයක් නම් නෙවෙයි, ඔබ ජීවිත කාලය පුරාම මෙවැනි උපක්‍රම භාවිතා කරලා තරග දිනන්න පුරුදු නොවිය යුතුයි. මම දන්නවා පිතිකරුවෙක් අනිවාර්යයෙන් ම තමන්ගේ සීමා ඉරේ සිටිය යුතුයි, නමුත් තරගයක් දිනන්න මෙවැනි දේවල් කරන එක නම් දුඟද හමන වැඩක්. ඒ වගේම ඊයේ හොඳ තරගයක් පැවැත්වුනා.”

ICC විසින් දුවද්දී දැවී යාමක් ලෙස සඳහන් කර ඇති මෙම ක්‍රියාව පිළිබඳ හිටපු එංගලන්ත නායක Michael Vaughan විසින් තම අදහස් එලෙස ප්‍රකාශ කර තිබුණා. ඊට අමතරව Nasser Hussain, Sam Billings, Stuart Broad and James Anderson යන වර්තමාන සහ හිටපු ක්‍රීඩකයින් ද මෙම සිදුවීම විවේචනය කර තිබුණා.

MCC විසින් නිකුත් කළ පණිවිඩයෙන් පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවන්ට මතක් කර දෙන්නේ පන්දුව පන්දු යවන්නාගේ අතින් නික්මෙන තුරු තම සීමා ඉරේ රැඳී සිටිය යුතු බවයි. එවිට මෙම තරඟයේ සිදු වුනාක් මෙන් දැවී යාම් සිදු නොවනු ඇති බවයි.

තවදුරටත් එම ප්‍රකාශයේ සටහන් වන්නේ මෙම සිදු වීම පන්දු යවන්නාට පමණක් ලඝු නොකළ යුතු බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය සම්බන්ධයෙන් මෙවැනි වාද විවාද ඇති විය යුතු බව සඳහන් කරන MCC විසින් පෙන්වා දෙන්නේ, කෙනෙක් පන්දු යවන්නා විසින් ලබා ගත් වාසිය පිළිබඳ හුවා දක්වද්දී, තවකෙකුට පිතිකරුවා විසින් පන්දුව යැවීමට පෙර තම සීමා ඉරෙන් නික්මී ලබා ගන්නා වාසිය පිළිබඳව ද විවාද කළ හැකි බවයි.

තව දුරටත් එම පණිවිඩයේ සඳහන් වන්නේ “පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවකු තම සීමා ඉර ඉක්මවා සිටිය දී දවා ගැනීම නීති අංක 41 (Unfair Play) සිට නීති අංක 39 (Run Out) ලෙස වෙනස් කර ඇති අතර එය 2022 ඔක්තෝබර් 1 දින සිට ක්‍රියාත්මක වනු ඇත.”

 මෙම දැවී යාම නීතිගත කළේ මෙවැනි සිදුවීම් වීම් වැළැක්වීමට බවත්, පන්දු යවන්නා පන්දුව සිය අතින් මුදා හරින තුරු පිතිකරුවා සීමා ඉරේ රැඳී සිටීමට වග බලාගත යුතු බවත් ඔවුන් සඳහන් කර සිටිනවා.

අවසාන කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක සබඳතාවයක් ලබා දෙමින් එංගලන්තය ලකුණු 118 සිට 153ක් දක්වා ගෙන ඒමේ වැඩි ගෞරවයක් හිම් කරගෙන සිටි Charlotte Dean සිය දැවී යාමෙන් අනතුරුව කඳුළු සලමින් පිටෙන් ඉවත්ව යන අයුරු දැක ගැනීමට ලැබුණා.

එමෙන්ම තරගයෙන් අනතුරුව මාධ්‍යය ඉදිරියට පැමිණි ඉන්දීය නායිකා Harmanpreet Kaur විසින් තම පන්දු යවන්නිය වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දැක්වූවා.

“ඒක තරගයේ එක සිදුවීමක් විතරයි, අපි අලුතින් කිසිම විශේෂ දෙයක් කරේ නැහැ. ඒක ICC නීතිවල සඳහන් වෙලා තියෙන විදිහේ දවා ගැනීමක්, ඒ වගේම ඔබ එවැනි අවස්ථා මග හැර නොගත යුතුයි. මම මගේ ක්‍රීඩිකාව වෙනුවෙන් පෙනී ඉන්නවා, මොකද එයා කිසිම නීති විරෝධි දෙයක් කළේ නැති නිසා. ඒ වගේම දවස අවසානයේ ඔබ එය සැමරිය යුතුයි, මොකද එය තරග ජයග්‍රණයක්.”

ක්‍රීඩා ඉසව්වල තවත් මෙවැනි උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<