මම එදා ෆයිසලාබාද් තණතීරුව පළුදු කරා – Shahid Afridi

2051

2005 වසරේ එංගලන්තයට එරෙහිව පාකිස්තානයේ ෆයිසලාබාද් පිටියේ දී පැවති තරගයක් අතරතුර තම නායකයා වූ Shoaib Malikගේ අනුදැනුම ද සහිතව, තමන් විසින් තණතීරුව පළුදු කළ බව හිටපු පාකිස්තාන නායක Shahid Afridi විසින් අනාවරණය කරනු ලැබුවා.

පකිස්තානය විසින් බිහි කළ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන Shahid Afridi විසින් පාකිස්තාන රූපවාහිනී නාලිකාවක් වන Samaa TV හි වැඩසටහනකට සහභාගී වෙමින් තමන් විසින් ෆයිසලාබාද් තණතීරුව පළුදු කළ බව ප්‍රකාශ කර තිබුණා.

තමන් තණතීරුවෙන් ලැබෙන සහය පිළිබඳව බලාපොරොත්තු රහිත වී සිටි නිසා මෙම ක්‍රියාව සිදු කළ බවත්, ඔහුගේ නායකයාව සිටි Shoaib Malik විසින් ද එය අනුමත කළ බවත් ඔහු පවසා සිටියා.

“එදා ෆයිසලාබාද් තණතීරුවේ පන්දුව දෝලනය වුනෙත් නැහැ, දඟ කැවුනෙත් නැහැ. මම මගේ උපරිම උත්සාහය යෙදුවත්, ඒ පිටියෙන් කිසිම සහයක් ලැබුණේ නැහැ. මම බලාපොරොත්තු සුන් කරගෙන හිටියේ. එක වරම කොහේ හෝ තැනක ගෑස් සිලින්ඩරයක් පුපුරලා ගියා, ඒ එක්කම තරගයට අවධානය යොමු කරලා හිටපු හැම කෙනෙක්ගෙම අවධානය මොහොතකට බිඳුණා.

ඒ එක්කම Malik ළඟට ගිය මම කිව්වා, මට බෝලය දඟ කවන්න ඕන, ඒ නිසා මේ තණතීරුවේ පලුද්දක් (patch) ඇති කරන්න ඕන, කියලා.

Malik මට උත්තර දුන්නා, ඒක කරන්න, කවුරුත් මේ පැත්ත බලාගෙන නෙවෙයි ඉන්නේ, කියලා.

ඉතින් මම ඒ දේ කරා. එහෙම දෙයක් ඉතිහාසයේ වුනා. දැන් මම ආයෙත් ඒ අතීතය දිහා හැරිලා බලද්දී තේරෙනවා ඒක වැරැද්දක් බව.”

Afridi එම සිදුවීම පිළිබඳ සිය මතකය අවදි කළේ ඒ ආකාරයෙනුයි.

මෙම තරගය එංගලන්තය සහ පාකිස්තානය අතර ටෙස්ට් ක්‍රිකට් තරග තුනකින් යුත් තරගාවලියක දෙවැනි තරගය ලෙස පැවැත්වුනු අතර, තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා.

කෙසේ වෙතත් මුල්තාන් හි පැවති පළමු තරගයත්, ලාහෝර් හී පැවති තෙවැනි තරගයත් ජයග්‍රහණය කළ පාකිස්තානය 2-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ක්‍රීඩාවේ තවත් මෙවැනි නැවුම් තතුවිත්ති ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Ndtvsports ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<