කොල්කටා Eden Gardens ක්‍රීඩාංගණයේ ගින්නක්!

ICC Cricket World Cup 2023

719

ඉන්දියාවේ පිහිටා ඇති අතිශය ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන කොල්කටා Eden Gardens ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගින්නක් හටගෙන තිබෙනවා. 

පසුගිය බදාදා (09) දිනයේ දී 2023 ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම ගින්න ඇති වී ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ. 

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගය ද ඇතුළුව තරග පහක් පැවැත්වීමට නියමිත ව ඇති මෙම ක්‍රීඩාංගණය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ මහත් ගෞරවයකින් පිදුම් ලබන ක්‍රීඩාංගණයක් ලෙස හඳුන්වා හැකි. 

මෙම ක්‍රීඩාංගණය තුළ 2001 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාගත ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීමට (පළමු ඉනිමේ පසුපසින් සිටිමින්) මෙන්ම 1993 Hero Cup කුසලානය ජයග්‍රහණය කිරීමට ද ඉන්දියාවට හැකියාව ලැබුණා. 

එමෙන්ම 1996 ලෝක කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ද මෙම ක්‍රීඩාංගණයේ දී ම වන අතර, ඊට අමතරව 1987 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වීමේ ගෞරවය ද කොල්කටාවේ Eden Gardens ක්‍රීඩාංගණයට හිමි වුනා. 

මීට අමතරව දැවැන්ත හයේ පහර හතරකින් විශිෂ්ට නිමාවක් ලද 2016 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වීමේ ගෞරවය දිනා ගත්තේ ද Eden Gardens ක්‍රීඩාංගණය විසින්මයි. 

“ඊයේ (09) රාත්‍රි 11.50ට ගින්න හට ගත්තා. මෙහි වැඩ කරමින් සිටි අය මුලින් දුමක් සහ පසුව ගින්න දැකලා තිබුණා. ඒ වහාම ගිනි නිවන යන්ත්‍ර දෙකක් යොදවා ගින්න නිවා දැමුවා. ක්‍රීඩාගාරයට එයින් හානියක් සිදු වුනේ නැහැ. යම් කේබල් ප්‍රමාණයක් පිලිස්සී ගොස් තිබුණා. කිසිම කඩාකප්පල්කාරී සිදුවීමක් වෙලා නැහැ.” 

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ බෙංගාල ක්‍රිකට් සංගම් (CAB) සභාපති Snehasish Ganguly විසින් එසේ අදහස් දක්වා තිබුණා. 

Sauna Heater (ගිනි උඳුනකින්) නැගුණු ගිනි පුපුරක් ඒ අසල තිබූ තුවා තොගයකට වැටීම නිසා අදාළ ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.  

මෙම ක්‍රීඩාංගණය මෙවර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ම විශේෂ ප්‍රතිසංස්කරණ වලට භාජනය කර ඇති අතර, මෙවර තරගාවලියේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගයෙන් (ඔක්තෝබර් 28) Eden Gardens ක්‍රීඩාංගණයේ ලෝක කුසලාන තරග ආරම්භ වීමට නියමිතයි. 

ඉන්පසුව බංග්ලාදේශ – පාකිස්තාන, ඉන්දීය – දකුණු අප්‍රිකා, එංගලන්තය – පාකිස්තාන කණ්ඩායම් අතර තරග ද මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<