ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

1309
Babar Azam-led Pakistan cricket team

මතභේද රැසකින් පසුව පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යන බව පාකිස්තාන විදේශ අමාත්‍යවරයා විසින් ඊයේ (06) තහවුරු කළා.

ඔහු ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ ඇති දේශපාලනමය සහ අනෙක් ගැටලු ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා අදාළ නොවන බවයි.  

“ක්‍රීඩාව සහ දේශපාලනය එකට මිශ්‍ර නොවීමට පාකිස්තානය සෑම විටම කටයුතු කළා. ඒ නිසා අපි තීරණය කළා පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යවන්න,” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා. 

මෙම ලෝක කුසලාන තරගාවලියට පෙර ආසියානු කුසලාන එක්දින තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කිරීම නිසා තරගාවලියේ අනෙක් සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට සිදු වුනා. 

පාකිස්තාන කණ්ඩායමට ලෝක කුසලානයට යාමට අවසර ලබා දීමට පෙර පාකිස්තාන බලධාරීන් ඉන්දියාවේ සංචාරය කරමින් ආරක්ෂක තත්වය පිළිබඳ සොයා බැලීමක් සිදු කර තිබුණා.  

පාකිස්තාන කණ්ඩායමක් 2016 විස්සයි විස්ස ලෝක කුසලානයට පසු ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර දෙරට අතර 2012/13 තරගාවලියෙන් පසු මෙතෙක් ද්විපාර්ශවික තරගාවලියක් පවත්වා නැහැ. 

මෙම ලෝක කුසලානය සඳහා සහභාගී වන පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි දකුණත් පිතිකරු Babar Azam හට හිමි වන බව ද වාර්තා වෙනවා.  

මෙම වසරේ දී ප්‍රේක්ෂකයින්ට ඉන්දියාව සහ පාකිස්තානය අතර තරග කිහිපයක්ම දැක බලා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. ආසියානු කුසලානයේ මෙම කණ්ඩායම් දෙකම එකම කාණ්ඩයක පසු වෙන අතර ලෝක කුසලානයේ ඔවුන් සහභාගී වන තරගය ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි 

2023 එක්දින ලෝක කුසලානයේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

Hindustan Times ඇසුරිනි. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<