ස්පාඤ්ඤ යළිත් යුරෝපා ආධිපත්‍ය දිනාගැනීමේ අරමුණින්

Euro 2020

291

බොහෝ දෙනෙකු අපේක්‍ෂා නොකළ සංචිත තේරීමක් හමුවේ Euro 2020 තරගාවලියට එක්වන ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම එළඹෙන තරගාවලියේ දී යළිත් සිය යුරෝපා ආධිපත්‍ය සනිටුහන් කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. 

යුරෝපා පාපන්දු ශූරතාවලි ඉතිහාසය 

ස්පාඤ්ඤය වාර්තාගත තුන් වතාවක් යුරෝපා පාපන්දු ශූරතාවලියේ ශූරතාවය දිනාගෙන ඇති අතර ඒ අනුව ජර්මනිය සමඟ තරගාවලි ඉතිහාසයේ මේ දක්වා සාර්ථක ම කණ්ඩායම් අතරින් එකක් ලෙස ඔවුන්ව පෙන්වා දිය හැක. 

1964 වසරේ ස්පාඤ්ඤය තුළ ම පැවති Euro තරගාවලියේ දී පළමු වරට තරගාවලියේ ශූරතාවය දිනාගත් ඔවුන් අනතුරුව 2008 සහ 2012 වසරවල දී එහි ශූරතාවය පිට පිට ජයග්‍රහණය කරනු ලැබුවේ එවන් දක්‍ෂතාවයක් දැක්වූ පළමු සහ එකම කණ්ඩායම ලෙස වාර්තා පොත් අතරට එක්වෙමිනි. 

Jasper Juinen/Getty Images

තවදුරටත් 1984 Euro තරගාවලියේ දී ඔවුන් අවසන් මහා තරගය දක්වා ඉදිරියට එන්නට සමත් වුවත් එහි දී ප්‍රංශය හමුවේ ගෝල 0-2ක පරාජයක් අත්විඳීමත් සමඟ ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. 

මේ දක්වා ගමන්මග

2008-2013 කාල සීමාව තුළ 2010 පාපන්දු ලෝක කුසලානය සහ අඛණ්ඩ Euro ශූරතාවලි ද්විත්වයක් ජයග්‍රහණය කරමින් ලෝක පාපන්දුව තුළ සිය ආධිපත්‍ය ස්ථාපිත කරගත් ස්පාඤ්ඤය ඔවුන්ව ලෝක කුසලානය සහ 2012 Euro ශූරතාවය කරා රැගෙන ගිය පුහුණුකරු Vicente del Bosque යටතේ ම අනතුරුව ඉතා අඳුරු කාල සීමාවක් ගත කරන්නට විය. එහි දී පළමුව 2014 පාපන්දු තරගාවලියේ කාණ්ඩ වටයෙනුත් පසුව 2016 Euro තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයෙනුත් ඔවුන්ව ඉවතට විසිවන්නට විය. 

එම Euro තරගාවලිය අවසානයේ del Bosque සිය ධූරයට සමු දීමත් සමඟ තවත් පුහුණුකරුවන් කිහිප දෙනෙක් ම ඒ සඳහා පත්කෙරුණත් එහි දී ද ඔවුන් සැලකිය යුතු මට්ටමේ ජයග්‍රහණයක් ලබාගන්නට සමත් වූයේ නැත. ඒ අනුව 2018 ලෝක කුසලාන තරගාවලියේ දීද ඔවුන්ට බලාපොරොත්තු නොවූ පරිදි අවසන් 16 දෙනාගේ වටයෙන් ඉවත්ව යන්නට සිදුවිය. 

AFP

එක් තරගයක් හැරුණුකොට Euro සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය පුරාවට ඔවුන්ගේ පුහුණුකාරීත්වය දරනු ලැබුවේ Robert Moreno විසිනි. ඔහු යටතේ සාර්ථක තරගාවලියක් ගත කළ ස්පාඤ්ඤය එහි දී සහභාගී වූ තරග 10න් 8ක් ම ජයග්‍රහණය කරමින් අපරාජිතව සිය සුදුසුකම තහවුරු කරගත්තේ ‘F’ කාණ්ඩයේ පෙරමුණ ද හිමිකර ගනිමිනි. මෝල්ටා සහ රොමේනියා කණ්ඩායම් හමුවේ ඔවුන් වාර්තා කරගත් ගෝල 7-0 සහ 5-0 ජයග්‍රහණ එහි දී කැපී පෙනෙන්නට විය. 

එම තරගාවලියෙන් අනතුරුව Luis Enrique දෙවැනි වරටත් ස්පාඤ්ඤ පුහුණුකරු ලෙස පත්කෙරුණු නමුත් ඔවුන් තවමත් ඔහු යටතේ අඛණ්ඩ දක්‍ෂතා අතරට පැමිණෙන්නට සමත්ව නොමැත. කෙසේ නමුත් මීට මාස කිහිපයකට පෙර ඔවුන් UEFA ජාතීන්ගේ ලීග් තරගාවලියේ දී ප්‍රබල ජර්මනිය හමුවේ ගෝල 6-0ක දැවැන්ත ජයග්‍රහණයක්  හිමිකර ගන්නට සමත් විය. 

තවදුරටත් පසුගිය දා පැවති ජාත්‍යන්තර සුහද තරගවල දී ඔවුන් ලිතුවේනියාව හමුවේ ගෝල 4-0ක ජයක් වාර්තා කරගත්තත් එහි දී පෘතුගාලයට එරෙහිව පැවති තරගය ගෝල රහිතව අවසන් වන්නට විය. 

පුහුණුකරු සහ ක්‍රීඩා ශෛලිය

ස්පාඤ්ඤයේ ම FC Barcelona පාපන්දු සමාජයේ පුහුණුකාරීත්වය දරමින් ලබා ගත් ජයග්‍රහණ වෙනුවෙන් Luis Enrique පාපන්දු ප්‍රජාව අතර ප්‍රචලිතව සිටියි. ඒ අනුව එහි දී ඔහු දැක්වූ උපායශීලීත්වය සහ සැලසුම් බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වන්නට විය. 

Sky Sports

සමස්තයක් ලෙස තම කණ්ඩායම සතුව පන්දුව වැඩි වේලාවක් තබාගනිමින් ක්‍රීඩා කරන ක්‍රීඩා ශෛලියක් අනුගමනය කරන ඔහු එය ක්‍රියාවට නැංවීමට ඊට උචිත 4-3-3 පද්ධතිය උපයෝගී කරගනී. 

කෙසේ නමුත් සාම්ප්‍රදායික ස්පාඤ්ඤ පුහුණුකරුවන්ට සාපේක්‍ෂව ඔහු එහිදී ‘tiki-taka’ පාපන්දු ක්‍රමය යොදාගන්නේ නැත. සාමාන්‍යයෙන් ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් අනුගමනය කරන ඔහු එහි දී සිය ක්‍රීඩකයින් ඉදිරියට යවමින් ප්‍රතිවාදීන් හට පීඩනයක් එල්ල කිරීමට කිසිඳු පැකිලීමක් දක්වන්නේ නැත. 

තවදුරටත් පන්දුව හරහට හුවමාරු කිරීම වෙනුවට හැකි සෑම අවස්ථාවක දී ම එය ඉදිරියට යොමුකිරීමට උත්සාහ දැරීම ද ඔහුගේ ක්‍රීඩා ශෛලියේ විශේෂත්වයකි. අවසාන වශයෙන් Enriqueගේ කණ්ඩායම් ඉක්මන් අවස්ථාවන් හරහා ගෝල වාර්තා වාර්තා කරගැනීමට ද සුවිශේෂී හැකියාවක් පෙන්නුම් කරයි. 

ස්පාඤ්ඤය සමඟ ඔහු මේ දක්වා සිය සංචිතය නොනවත්වා වෙනස් කිරීම්වලට භාජනය කර ඇති අතර අනෙක් පසින් ඔවුන්ව අඛණ්ඩව දක්‍ෂතා අතරට රැගෙන යන්නට ද ඔහු තවමත් සමත් වී නොමැත. 

කෙසේ නමුත් සමහර අවස්ථාවන් වලදී ඔහු ස්පාඤ්ඤ කණ්ඩායම ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කිරීමට යොමුකිරීමට සමත්ව ඇති අතර එළඹෙන Euro තරගාවලියේ දී ඉදිරියට යාමට නම් ඔවුන් එවන් දක්‍ෂතාවයන් අඛණ්ඩව දැක්වීම අතිශය වැදගත් වනු නොඅනුමාන ය. 

ප්‍රබලතාවයන් සහ දුර්වලතාවයන්

ඉතිහාසය පුරාවට මෙන්ම මෙවර තරගාවලියට එක්වන ස්පාඤ්ඤ සංචිතය ද ඉතා ප්‍රබල මැදපෙළකින් සමන්විත වේ. ඒ අනුව නායක Sergio Busquets, Thiago Alcantara සහ Koke වැනි විශිෂ්ට ක්‍රීඩකයින්ගෙන් එය සමන්විතව ඇති අතර Pedri හරහා එය තවදුරටත් ශක්තිමත්ව ඇත. මෙම මැදපෙළ ඔස්සේ ඔවුන්ට ඕනෑම කණ්ඩායමකට එරෙහිව පන්දුව රඳවා ගැනීම එතරම් ගැටළුවක් නොවනු ඇති බව ප්‍රත්‍යක්ෂ වේ. 

www.90min.com

Enrique වැනි පුහුණුකරුවකු සිටීම ඔවුන්ගේ ප්‍රබලතාවයක් මෙන්ම දුර්වලතාවයක් ලෙස ද හඳුනාගත හැක. ඔහුගේ උපායශීලීත්වය මෙන්ම අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගැනීමට දක්වන දක්‍ෂතාවය ඉතා වැදගත් ගුණාංග වුවත් ජාත්‍යන්තර තලය තුළ පුහුණුකරුවෙකු ලෙස ඔහු සතුව එතරම් අත්දැකීම් නොමැති වීම තරගාවලියේ ඉදිරියට යාමේ දී ඔවුන්ට ගැටලුවක් විය හැකිය. තවදුරටත් ඔහුගේ සැලසුම් සහ ක්‍රීඩා ශෛලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තරම් සුදුසු ප්‍රබල ක්‍රීඩකයින් ස්පාඤ්ඤ ඉදිරිපෙළ තුළ සිටිනවා දැයි යන්න ද ප්‍රශ්නාර්ථයකි. 

ඔවුන්ගේ සුපුරුදු නායක මෙන්ම ප්‍රබල පසුපෙළ ක්‍රීඩක Sergio Ramos ආබාධයකින් සුවය ලබමින් සිටියත් ඔහුව සංචිතයට ඇතුළත් නොකිරීම බොහෝ දෙනෙකු හට පුදුමයට කරුණක් වන්නට විය. ඒ අනුව ඔහුගේ දායකත්වය මෙවර තරගාවලියේ දී නොමැති වීම ස්පාඤ්ඤය හට විශාල පාඩුවක් වනු ඇති බව නොඅනුමාන ය. කෙසේ නමුත් Aymeric Laporte සහ Pau Torres දෙදෙනා සිටීමත් සමඟ ඔවුන් ඉහළ ප්‍රමිතියකින් යුතු centre-back යුගළයකින් සමන්විත වුවත් ඔවුන් දෙදෙනා හට එකට ක්‍රීඩා කොට හොඳ අවබෝධයකින් යුතු සබඳතාවයක් ගොඩනඟා ගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොමැති වීම ද අභියෝගයක් විය හැකිය. 

තවදුරටත් ඉදිරිපෙළ අඛණ්ඩව ගෝල අතර රැඳිය හැකි ප්‍රබල striker ක්‍රීඩකයෙකු නොමැති වීම සහ ගෝල රකින ක්‍රීඩක David de Gea මේ වනවිට සිය සුපුරුදු දක්‍ෂතා අතර නොසිටීම ද ඔවුන්ට ගැටලුවක් විය හැක. 

තවත් කියවන්න;

වැදගත් ම සහ නැඟීඑන ක්‍රීඩකයින්

වසර ගණනාවක් පුරාවට ස්පාඤ්ඤ කණ්ඩායමේ මැදපෙළ මෙහෙයවීමේ වගකීම ඉටුකරනු ලැබුවේ Busquets විසිනි. කෙසේ නමුත් මෙවර තරගාවලියේ දී කණ්ඩායමේ නායකත්වය ද ඔහු වෙත පැවරී තිබීමත් සමඟ ඔහුගේ දායකත්වය ඔවුන්ට අතිශය තීරණාත්මක වනු ඇති බව නොඅනුමාන ය.

COVID-19 වසංගතයට ගොදුරු වීමත් සමඟ තරගාවලියේ පළමු තරගය ඔහුට මඟහැරෙණු ඇතත් ඉතිරි තරග වලට ඔහු සහභාගී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඒ අනුව තරගයේ ගලායෑම පාලනය කිරීමට ඔහු දක්වන සුවිශේෂී හැකියාව, උපායශීලීත්වය සහ දක්ෂ පන්දු හුවමාරු කිරීමේ හැකියාව තරගාවලිය පුරාවට ඔවුන්ට වැදගත් වනු ඇත. 

Getty Images

Villareal පාපන්දු සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩක Gerard Moreno පසුගිය LaLiga තරග වාරය තුළ ගෝල 23ක් වාර්තා කරගනිමින් අනතුරුව UEFA යුරෝපා ලීග් තරගාවලියේ ශූරතාවය ද ජයග්‍රහණය කරන්නට සමත් විය. ඒ අනුව තරගාවලිය තුළ ගෝල වාර්තා කරගැනීමේ දී ඔහුගේ දායකත්වය තීරණාත්මක වනු ඇත.

අනෙක් පසින් මෑතක දී ස්පාඤ්ඤ පුරවැසිභාවය ලබාගත් Laporte ඔවුන්ගේ පසුපෙළට නායකත්වය ලබා දෙන ප්‍රධාන ක්‍රීඩකයා වනු ඇතැයි අපේක්‍ෂිත අතර Barcelona කණ්ඩායම වෙනුවෙන් ගෝල සහ පන්දු පිරිනැමීම් 3 බැගින් වාර්තා කර ගත් 18 හැවිරිදි Pedri සහ පසුගිය කාලය පුරාවට දක්‍ෂතා අතර සිටි 21 හැවිරිදි Ferran Torress ස්පාඤ්ඤ වෙනුවෙන් ඉදිරි Euro තරගාවලියේ දී නැඟීඑන ක්‍රීඩකයින් ලෙස දක්‍ෂතා දක්වනු ඇතැයි අනුමාන කළ හැක. 

සංචිතය

ගෝල රකින්නන්: Unai Simon (Athletic Bilbao), David de Gea (Manchester United), Robert Sanchez (Brighton)

පසුපෙළ ක්‍රීඩකයින්: Jose Gaya (Valencia), Jordi Alba (Barcelona), Pau Torres (Villarreal), Aymeric Laporte (Manchester City), Eric Garcia (Manchester City), Diego Llorente (Leeds), Cesar Azpilicueta (Chelsea)

මැදපෙළ ක්‍රීඩකයින්: Marcos Llorente (Atletico Madrid), Sergio Busquets (Barcelona), Rodri (Manchester City), Pedri (Barcelona), Thiago (Liverpool), Koke (Atletico Madrid), Fabian (Napoli), Dani Olmo (RB Leipzig), Pablo Sarabia (Paris Saint-Germain)

ඉදිරිපෙළ ක්‍රීඩකයින්: Gerard Moreno (Villarreal), Alvaro Morata (Atletico Madrid), Ferran Torres (Manchester City), Adama Traore (Wolves), Mikel Oyarzabal (Real Sociedad)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<