තමන්ට ලැබුණු තීරණයෙන් Dhawan කම්පනයට පත් වෙයි!

6505

කලක් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙකු ලෙස නම් දැරූ Shikhar Dhawan මේ වන විට සිය ක්‍රීඩා ජීවිතයේ සැඳෑ සමයට කෙමෙන් පිවිසෙමින් සිටිනවා.

ඒත් සමඟින් ම ඔහුට ඉන්දීය ජාතික කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට ලැබෙන අවස්ථා ද ක්‍රමයෙන් හීන ගොස් ඇති අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඔහුට තවමත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වී නැහැ.

මේ අතර එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් නම් කරන ඉන්දීය ක්‍රිකට් සංචිතය සඳහා නායකත්වය දීමට Dhawan හට අවස්ථාව හිමි වනු ඇති බවට මීට පෙර යම් ආරංචියක් පැතිරුණා. කෙසේ වෙතත් ඔහුට එම අවස්ථාව ද අහිමි වී ගිය අතර, එම ඉන්දීය කණ්ඩායමේ නායකත්වය Ruturaj Gaikwad හට හිමි වුනා.

මෙම තීරණය සම්බන්ධයෙන් නම් තමා තරමක් කම්පනයට පත් වූ බව Shikhar Dhawan විසින් ඊයේ (10) ඉන්දීය පුවත් සේවයක් වන PTI වෙත පවසා තිබුණා.

“මගේ නම නොතිබීම ගැන (ආසියානු කුසලාන සංචිතයේ) මම ටිකක් කම්පනයට පත්වුනා. නමුත් ඉන්පසුව මම තේරුම් ගත්තා ඔවුන්ට වෙනස් ක්‍රියා පටිපාටියක් ඇති බව සහ මම එය පිළිගත යුතු බව.

Rutu (Gaikwad) කණ්ඩායම මෙහෙයවීම ගැන සතුටුයි. තරුණ කොල්ලෝ ඉන්නවා, මට විශ්වාසයි ඔවුන් හොඳින් කරා වී.”

ඉන්දියාව වෙනුවෙන් ක්‍රිකට් තරග ආකෘති තුන තුල දී ලකුණු 10000 සීමාව ඉක්මවා යාමට තරම් සාර්ථකත්වයක් පෙන්වා ඇති Dhawan සඳහන් කරන්නේ තමන් ඕනෑම මොහොතක ජාතික කණ්ඩායම වෙනුවෙන් සිය සේවය සැපයීමට සූදානමින් සිටින බවයි.

“අනිවාර්යයෙන් ම, මම සූදානමින් ඉන්නේ. ඒ නිසයි මම හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව ඉන්නේ. එය සියයට එකක් හෝ සියයට විස්සක් වේවා ඕනෑම මොහොතක අවස්ථාවක් ලැබෙන්න පුළුවන්.

මම තවමත් පුහුණුවීම් වගේම ක්‍රීඩාවත් ආසාවෙන් කරනවා. ඒ දේවල් මගේ පාලනය යටතේ තියෙන්නේ. නමුත් මොන තීරණයක් ලැබුනත්, මම ඒකට ගරු කරනවා.

මම කිසිම තේරීම් කමිටු සාමාජිකයෙකුට කතා කළේ නැහැ. මම දිගටම NCA (ජාතික ක්‍රිකට් ඇකඩමියට) යනවා. මම එහි සතුටින් කාලය ගත කරනවා.”

ජාතික ක්‍රිකට් ඇකඩමිය සමඟ එක් වී තමන් තවදුරටත් උපරිම සූදානමින් සිටින බව පවසන මේ 37 වියැති ක්‍රීඩකයා විසින් විශේෂයෙන්ම අවධාරණය කළේ තමන් එළඹෙන IPL තරගාවලිය මෙන්ම තවත් දේශීය ක්‍රිකට් තරගාවලි කිහිපයක් ම ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් යුතුව සිටින බවයි.

Dhawan හට නැවත ඉන්දීය සංචිතයට පැමිණීමට ඉඩක් පවතී නම් ඒ සීමිත පන්දුවාර සංචිතයට බව අනුමාන කළ හැකි. KL Rahul, Shreyas Iyer ක්‍රීඩකයින් දෙදෙනාගේ ආබාධ තත්ව නිසා මේ වන විට ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් බව දරුණු පසුබෑමකට මුහුණ දී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ Suryakumar Yadav වැනි වෙනත් උපක්‍රම ද එතරම් සාර්ථක වුනේ නැහැ. මේ අතර ඉන්දීය මුල්පෙළ පිතිකරණයේ ද යම් දියාරු ස්වභාවයක් ඇති බව පිරිසකගේ අදහස වී තිබෙනවා. කෙසේ නමුත් මේ සියලු ගැටලු වෙනුවෙන් ලැබෙන නිල පිළිතුර Shikhar Dhawan වීමට ඇති ඉඩ නම් ඉතා සීමිතයි.

නමුත් ගෙවුණු දශකයක කාලය පුරාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ගැලවුම්කරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කර ගත් Dhawan පවසන්නේ තමන් එම අතීතය පිළිබඳ අතිශයින් ම සතුටට පත් වන බවයි.

“මම ගොඩක් සතුටින් ඉන්නේ. ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීම හොඳ හැඟීමක්. මේ වගේ හොඳ ක්‍රීඩා දිවියක් ලබමින් ඉන්දියාව නියෝජනය කිරීමට මම වාසනාවන්ත වුනා.”

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<