දක්ෂතම ක්‍රීඩකයා කයිල්, ක්‍රීඩිකාව රමුදි

203

ජාතික පිහිනුම් ශූරතාවලිය ඊයේ (06) සුගතදාස ගෘහස්ථ පිහිනුම් සංකීර්ණයේ දී අවසන් වූ අතර එහි ජ්‍යෙෂ්ඨ කාන්තා අංශයේ ශූරතාවය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයත්, පිරිමි ශූරතාවය කිලර් වේල් ජල ක්‍රීඩා සමාජය අඛණ්ඩව තෙවන වසරටත් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරගාවලියේ කනිෂ්ඨ කාන්තා ශූරතාවය වත්තල ලයිසියම් විද්‍යාලය දිනා ගනිද්දී එහි පිරිමි ශූරතාවය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. ඊට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කයිල් අබේසිංහ සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රමුදි සමරකෝන් තේරී පත්විය.

Pශූරතාව ආරක්ෂා කර ගැනීමට මෙවර ප්‍රබල තර්ජනයක්

10 වන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලිය මැයි මස 10 වන දා සිට 13 වන දා දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත අතර 2015 වසරේ දී…

මැයි මස 03 වන දා සුගතදාස ගෘහස්ථ පිහිනුම් සංකීර්ණයේ දී ආරම්භ වූ ජාතික පිහිනුම් ශූරතාවලියේ ඊයේ (06) අවසන් වූයේ නව තරග වාර්තා 9ක් බිහි වෙමිනි. මෙහි දී ජ්‍යෙෂ්ඨ අංශයේ ශූරතාවය දිනා ගැනීමට මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් සමත් වූයේ තරගාවලියේ අවසන් පැය කිහිපය තුළ වීම සුවිශේෂී වේ.

මහාමායා ක්‍රීඩිකාවන් තරගාවලියේ සමස්ත කාන්තා ජ්‍යෙෂ්ඨ ශූරතාවය ලකුණු 286.5ක් හිමිකර ගනිමින් දිනා ගන්නට සමත් වූ අතර ලකුණු 279ක් ලබා ගත් කොළඹ විසාකා විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. ගියවර ශූරතාවය දිනාගත් සිරිමාවෝ බාලිකා විද්‍යාලය ලකුණු 149ක් හිමි කර ගනිමින් මෙවර තුන්වන ස්ථානයට පත්විය.

තරගාවලියේ පිරිමි ජ්‍යෙෂ්ඨ ශූරතාවය අඛණ්ඩව තුන්වන වසරටත් දිනා ගැනීමට සමත් වූයේ කිලර් වේල් ජල ක්‍රීඩා සමාජයයි. තරගාවලිය ආරම්භ වූ දින සිටම ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ ඔවුන් ලකුණු 244ක් හිමි කර ගන්නට සමත් විය. සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 195ක් ලබා ගනිමින් දෙවන ස්ථානය දිනා ගත් අතර ලකුණු 169ක් හිමි කර ගත් කොළඹ ආනන්ද විද්‍යාලයට සමස්ත තෙවන ස්ථානය හිමි විය.

තරගාවලියේ කාන්තා කනිෂ්ඨ ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම තරගාවලි ඉතිහාසයේ ප්‍රථම වරට ජයග්‍රහණය කරන්නට මෙම වසරේ දී සමත් විය. තරගාවලිය ආරම්භ වූ දිනයේ පටන් ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ ඔවුන් තරගාවලිය අවසන් කළේ ලකුණු 205කට හිමිකම් කියමිනි. මෙහි දෙවන ස්ථානය ලකුණු 177කට හිමිකම් කියූ කොළඹ විසාකා විද්‍යාලය දිනා ගැනීමට සමත් විය.

කනිෂ්ඨ අංශයේ පිරිමි ශූරතාවය දිනා ගත්තේ ලකුණු 130ක් ලබා ගත් කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමයි. මෙහි දෙවන ස්ථානයට ඉතා තියුණු තරගයක් පැවති අතර එහි දී ලකුණු 113ක් ලබා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම දෙවන ස්ථානයත්, ලකුණු 111ක් හිමි කර ගත් සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම තුන්වන ස්ථානයත් දිනා ගන්නා ලදි.

තරගාවලියේ සමස්ත ලකුණු සටහන

ජ්‍යෙෂ්ඨ – කාන්තා

  1. මහාමායා බාලිකා විද්‍යාලය – 286.5
  2. විසාකා විද්‍යාලය – 279
  3. සිරිමාවෝ බාලිකා විද්‍යාලය – 149
  4. මියුසියස් විද්‍යාලය – 118.5
  5. ලයිසියම් ජාත්‍යන්තර පාසල – නුගේගොඩ – 37

ජ්‍යෙෂ්ඨ – පිරිමි

  1. කිලර් වේල් ජල ක්‍රීඩා සමාජය – 244
  2. ශාන්ත ජෝසප් විද්‍යාලය – 195
  3. ආනන්ද විද්‍යාලය – 169
  4. ශ්‍රී ලංකා නාවික හමුදාව – 140
  5. රාජකීය විද්‍යාලය – 81.5

කනිෂ්ඨ – කාන්තා

  1. ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල – 205
  2. විසාකා විද්‍යාලය – 177
  3. ගේට්වේ ජාත්‍යන්තර පාසල – මහනුවර – 93
  4. සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය – 90
  5. මියුසියස් විද්‍යාලය – 87

කනිෂ්ඨ පිරිමි

  1. රාජකීය විද්‍යාලය – 130
  2. ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල – 113
  3. සාන්ත ජෝසප් විද්‍යාලය – 111
  4. ඩී. එස්. සේනානායක විද්‍යාලය – 100
  5. ධර්මරාජ විද්‍යාලය – 92

තරගාවලියේ අඛණ්ඩව දෙවන වසරටත් දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ 17 හැවිරිදි කයිල් අබේසිංහ යි. ඔහු මෙම තරගාවලිය තුළ රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. එහි දී මීටර 100 ලය ආර, මීටර 50 නිදහස් ආර සහ මීටර 200 මිශ්‍ර ආර තරග ඉසව් වල රන් පදක්කමත්, මීටර 100 හා මීටර 400 ඉසව් වල රිදී පදක්කමත් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි දෙවන ස්ථානය කයිල් අබේසිංහට එක් ලකුණක් පිටුපසින් සිටි අකලංක පීරිස් ද, තෙවන ස්ථානය නාලන්ද විද්‍යාලයේ දිලංක ෂෙහාන් ද දිනා ගන්නා ලදි.

අකලංක මීටර 50 පසුපස ආර, මීටර 50 සමනළ ආර, මීටර 100 පසුපස ආර ඉසව් වල රන් පදක්කම දිනා ගත් අතර මීටර 50 නිදහස් ආර ඉසව්වේ රිදී පදක්කමත්, මීටර 100 නිදහස් ආර ඉසව්වේ ලෝකඩ පදක්කමත් ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරගවලියේ ජ්‍යෙෂ්ට අංශය සඳහා ප්‍රථම වරට සහභාගී වූ 15 හැවිරිදි රමුදි සමරකෝන්, ඇය සහභාගී වූ සියලුම ඉසව් වල රන් පදක්කම දිනා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර විය. එහි දී ඇය මීටර 50 ලය ආර, මීටර 200 මිශ්‍ර ආර, මීටර 800 නිදහස් ආර, මීටර 100 ලය ආර ඉසව් වලට සහභාගී වෙමින් එම ඉසව් ජයග්‍රහණය කිරීමට සමත් විය. විසාකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ඉතා වැදගත් පිහිනුම් ක්‍රීඩිකාවක් වනු නොඅනුමානය.

කෙසේ වුවත් සමස්ත තරගාවලිය දෙස අවධානය යොමු කළ විට එය ඉතා සාර්ථක වූ බව ප්‍රකාශ කළ හැකිය. මුළු තරගාවලිය පුරාවටම කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා උද්යෝගයෙන් තරග වැදුණු අතර නව තරග වාර්තා මෙන්ම නව ජයග්‍රාහකයින් ද කිහිප දෙනෙක්ම මෙවර ජාතික පිහිනුම් ශූරතාවේ දී බිහිවනු දැක ගත හැකි විය.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට