ජර්මන් බෙහෙත්වලින් ජර්මානුවන්ටම සංග්‍රහ කළ ජපන්නු

FIFA World Cup 2022

340

යම් දුෂ්ට දිව්‍යමය රටාවක් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වනවාද කියා ජර්මනිය සහ ආජන්ටිනාව කල්පනා කරන්නේ නම් ඔවුන්ට සමාව දෙන්න පුළුවන්.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පැය 24ක් ඇතුළත පැරණි විධිය දෙවැනි වතාවටත් අනිත් පැත්තට පෙරළී තිබෙනවා. ජපානය හමුවේ ජර්මනියේ ඉරණම සහ සෞදි අරාබිය ඉදිරියේ ආජන්ටිනාවේ නින්දාව සමාන වීම අද්භූත සිදුවීමක් සේ පෙනෙනවා.

මේ ලෝක කුසලාන යෝධයන් දෙදෙනා ම තරගයේ පෙරමුණ ගත්තේ පෙනල්ටිවලින්. දෙදෙනා ම පළමු භාගයේ දී ඔවුන්ගේ ආධිපත්‍ය පතුරුවා තිබුණා. දෙදෙනා ම කළින් ම ගෝල ලබා ගත්තේ ප්‍රතිවාදීන්ගේ offside ක්‍රීඩාවෙන්. තරගයේ පළමු භාගය අවසන් වන විට ගෝල 1-0කින් ඉදිරියෙන් සිටි දෙදෙනා ම පිට පිට ගෝල ලබා දී යළි පිරිමැසිය නොහැකි හානියක් සිදු කර ගනිමින් අවසානයේ 2-1කින් පරාජයට පත්වුනා.

තමන්ගේ සිව්වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වෙමින් සිටින ජර්මනියේ Thomas Muller විසින් මෙය හඳුන්වනු ලැබුවේ හාස්‍යමය පරාජයක් ලෙසින්. ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ බිඳ හෙළිය නොහැකි කණ්ඩායමක් ලෙසින් වරක් දිස්වෙමින් සිටි හා සිය පස්වැනි ලෝක කුසලානය හඹා යමින් සිටින ජර්මනිය තමන් පරාජයට පත්වනු ඇතැයි කිසිවිටෙකත් තේරුම් නොගත් බව ප්‍රදර්ශනය කිරීමක්.

ඔවුන් ඒ පිළිබඳව දැන්වත් විශ්වාස කළ යුතුයි. උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ දෙවැනි භාගයේ දී ජපානය වඩාත් වේගවත්, තියුණු සහ දීප්තිමත් කණ්ඩායම බවට ප්‍රදර්ශනය වුනා.

එළඹෙන ඉරිදා ස්පාඤ්ඤයට පරාජය වුවහොත් ජර්මනියේ ලෝක කුසලාන පාපන්දු මෙහෙයුම එතැනින් ම අවසන් වීමට ඉඩ තිබෙනවා. එවැනි බියකරු දෙයක් සිදුවීමට තිබෙන ඉඩකඩ පිළිබඳව ජර්මන් කඳවුර තුළ කැලඹීමක් හට ගැනීමට වැඩි වේලාවක් ගත වී නැහැ. තරගයෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ මැදපෙළ ක්‍රීඩක ILkay Gundogan සටන් කිරීම සඳහා තිබෙන කුසගින්නේ අඩුව පිළිබඳව තම කණ්ඩායමේ සගයන්ට දොස් පවරා සිටියා.

විශේෂයෙන් දෙවැනි ගෝලයෙන් අපි ඔවුන්ට වැඩේ ලෙහෙසි කළා,” යැයි ඔහු ප්‍රකාශ කළේ ශෝකයෙන් යුතුව. “මීට වඩා පහසු ගෝලයක් ලෝක කුසලාන තරගාවලියේ දී කවදාවත් ලබා ගෙන තියෙනවා ද කියා මා දන්නේ නැහැ. එතැන විශ්වාසය නැතිකමක් තිබුණා. ක්‍රීඩාංගණයේ සිටි කිසිම කෙනෙකුට ඔවුන්ගේ දෑස් අදහා ගන්න බැරි වුනා.”

ජර්මනිය මුහුණ දී සිටින අර්බුදයේ තරම සම්බන්ධයෙන් ඔවුන්ගේ කරුණාවක් නැති මුහුණක් තිබෙන පුහුණුකරු Hansi Flick තර්ක කරන්නට ගියේ නැහැ. “අපි පීඩනයකට ලක්ව සිටිනවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ” ඔහු කියා සිටියා. “අපි නිර්භීතව හා එකමුතුව ක්‍රීඩා කළ යුතුයි. ලෝක කුසලාන තරගාවලියකට අවශ්‍ය ආක්‍රමණය අපට උවමනායි.”

මීට සිවු වසරකට පෙර රුසියාවේ දී ජර්මන් පාපන්දු කණ්ඩායමේ භයජනක අත්දැකීම්වල සමමිතිය ඉතා පැහැදිලියි. 2018 ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ මෙක්සිකෝව වෙතින් ලැබූ පරාජයේ තුවාලය අවසානයේ සුව කිරීමට නොහැකි තරම් දරුණු වූයේ Joachim Lowගේ කණ්ඩායම ඊට දින 10කට පසුව දකුණු කොරියාව විසින් තරගාවලියෙන් පිටත් කර යැවීමෙන්.

එවැනි පූර්වාදර්ශීය සිදුවීමක් පිළිබඳව මතක් කිරීම Flick කරුණාවෙන් බාර ගත්තේ නැහැ. “මම 2018 කණ්ඩායමේ කොටස්කාරයෙක් නෙවෙයි. ඒ නිසා මම ඇත්තටම ඒ ගැන දුක් වෙන්නේ නැහැ,” යැයි ඔහු සැරෙන් කියා සිටියා. “මම සැලකිලිමත් වෙන්නේ අනාගතය පිළිබඳවයි.”

එය සංකුලතාවෙන් පිරුණු අනාගතයක්. සමලිංගිකතාව සම්බන්ධයෙන් වන කටාර් නීතිවලට එරෙහිව විරෝධය දක්වන්නේ කෙසේද කියා ජගත් පාපන්දු සම්මේලනය සමඟ නොකඩවා පැවැත්වෙන ඔවුන්ගේ හබයට අමතරව තරග බිමේ ඔවුන්ගේ අප්‍රමාණවත් බව නිසා ජර්මන් කණ්ඩායම කටාර් හි රැඳී සිටීමේ කාලය හදිසියේ ම කෙටි වීමේ අනතුරකට මුහුණ පා සිටිනවා.

ජපානය පැත්තෙන් බලන විට, ඔවුන්ට තිබෙන්නේ මේ සියල්ලෙන් ම නිදහස් වූ ප්‍රීති ප්‍රමෝදයක්. ආජන්ටිනාව අභිබවා ගිය සෞදි අරාබි ජයග්‍රහණයේ අපූරු දර්ශනය තමන්ගේම භූමිකම්පාවක් වැනි ප්‍රහාරයක් නිර්මාණය කිරීම සඳහා එන්නතක් වූ බව Takefua Kubo ක්‍රීඩකයා පිළිගත්තා.

අපි පුහුණුවීම්වලට යන අතරතුර කණ්ඩායමේ බස් රථයේ දී ඒ තරගය නැරඹුවා,” යැයි ඔහු සඳහන් කළා. “අප ඔවුන් ගැන සතුටු වෙනවා. එයින් අප තුළ ප්‍රබෝධයක් ඇති වුනා. සෞදි අරාබියේ ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ බවක් මට අසන්න ලැබුණා. එය ජපානයේත් සිදු වේවි කියා මා සිතනවා.”

ආදේශ ක්‍රීඩකයන් ලෙස බංකුවේ වාඩි වී සිට තරගයේ දෙවැනි භාගයේ ක්‍රීඩා කිරීම පිණිස කලිෆා තරග බිමට පිවිසි Ritsu Doan සහ Takuma Asano යන ජර්මනියට එරෙහි ජපන් ගෝල ලාභීන් දෙදෙනා ම ‘බුන්ඩස්ලීගා’ – Bundesliga – ක්‍රීඩකයන් වීම දෛවෝපගත සිදුවීමක්. 0-1කින් තරගයේ පිටුපස සිට නැවත ඉදිරියට පැමිණි ජයග්‍රාහී ජපාන කණ්ඩායමේ නායක Maya Yoshida, Wataru Endo සහ Daichi Kamada ද ‘බුන්ඩස්ලීගා’ ක්‍රීඩකයන්.

ජර්මන් පාපන්දු ලීග් ක්‍රමවේදයේ ඉහළින් ම තිබෙන වෘත්තීය පාපන්දු ලීගයක් වන ‘බුන්ඩස්ලීගා’ ජර්මනියේ ප්‍රධානතම පාපන්දු තරගාවලියයි. එබැවින් මේ ජපන් ජයග්‍රහණය “ජර්මනියේ බෙහෙත්වලින් ඔවුන්ටම සංග්‍රහ කිරීම” වැනි සිදුවීමක් බව බොහෝ දෙනා සලකනවා.

තමා බුන්ඩස්ලීගා තරගාවලිය සඳහා පැමිණියේ ජර්මන් පාපන්දු ක්‍රීඩාව, ජර්මන් සංස්කෘතිය සහ ජර්මන් ප්‍රතිවාදියා තේරුම් ගැනීම පිණිස යැයි Maya පවසනවා. “එය මා මෙහි පැමිණි එක හේතුවක්. ඇත්ත වශයෙන් ම එය මේ ජයග්‍රහණයට උපකාරයක් වුනා.”

ඔවුන් ඉතාමත් ශක්තිමත්, අසීරු, වටිනා ලීගයක සටන්කාමී ක්‍රීඩාවක් කරන බැවින් ඔවුන් ඔවුන්ගේ ශක්තිය ගොඩනගා ගෙන තිබෙනවා,” යැයි සිය බුන්ඩස්ලීගා ක්‍රීඩකයින් පිළිබඳව සඳහන් කරමින් ජපන් පුහුණුකරු Hajime Moriyasu පවසනවා. “ඒ අනුව බලන විට ජපාන පාපන්දු ක්‍රීඩකයන්ගේ වර්ධනය පිණිස මේ ලීග්වල ලොකු දායකත්වයක් ලැබී තිබෙනවා.”

මීට දොළොස් වසරකට ඉහත දී ජපානය ඔවුන්ගේ ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩකයන් 23 දෙනාගෙන් 19 දෙනෙකු කැඳවූයේ J-League නමැති දේශීය ලීගයෙන්. 2022 වසරේ දී ඔවුන් ක්‍රීඩකයින් 26 දෙනාගෙන් 19 දෙනෙකු ම කැඳවා තිබෙන්නේ විදේශයෙන්. ඔවුන් ලෝකයේ තිබෙන වඩාත් ම තරගකාරී අන්තර් සමාජ තරගාවලියන්හි ක්‍රීඩා කරන ජපන් රටේ පුරවැසි ක්‍රීඩකයන්.

කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වෙමින් සිටින ජපාන සංචිතයේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ක්‍රීඩා සමාජ පාපන්දුව ක්‍රීඩා කරන්නේ ජර්මනියේ. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙතෙක් සිදු වූ මේ දෙවැනියට ලොකුම පෙරළිකාර ජයග්‍රහණය ජර්මනිය සහ ජපානය එකට එතුණු ලෝකයේ සිදු වූ අලුත් ම විකෘතියයි.

ජපාන ලෝක කුසලාන සංචිතයේ අට දෙනෙකු ම ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩාව ජර්මනියේ කරගෙන යන පසුබිමක මේ ඓතිහාසික ජපන් ජයග්‍රහණයේ උපත සිදු වූයේ බුන්ඩස්ලිගාවලින් බව කීම ඉතා යෝග්‍ය නොවන්නේ ද?

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<