කළු වලාවේ රිදී රේඛාවක් සොයන අප්‍රිකාව

FIFA පාපන්දු ලෝක කුසලානය 2022

798

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන කණ්ඩායම් 8 පසුකර යාමට කිසිම අප්‍රිකානු රටක් මෙතෙක් සමත් වී නැහැ.

ලෝක කුසලාන පාපන්දු වේදිකාවේ අප්‍රිකාව වසා ගත් මේ කළු වලාවේ රිදී රේඛාවක් දකිමින් මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිව්දෙනා අතරට පිවිසීමට අප්‍රිකානු කණ්ඩායමක් සමත් වේවි ද?

1990 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙමින් කැමරූන් කණ්ඩායම සලකුණු කළ කඩඉම අභිබවා පෙලහර පෑමට තවමත් කිසිම අප්‍රිකානු කණ්ඩායමකට හැකියාවක් ලැබී නැහැ. සෙනෙගාල් සහ ඝානා රටවල් ද පිළිවෙළින් 2002 සහ 2010 වසරවල දී අවසාන කණ්ඩායම් අට ට පිවිසිය ද එතැනින් ඔබ්බට ගිය අප්‍රිකානු වික්‍රමයක් නැහැ.

ජයග්‍රාහී ගෝලයක් ලබා ගැනීමෙන් පසුව පිටියේ කොනට පැමිණ සිය උකුළ කරකවමින් නරඹන්නන් කුල්මත් කළ Roger Milla සහ නිර්භීත ක්‍රීඩාවෙන් බල ගැන්වුනු අප්‍රතිහත ධෛර්යයෙන් යුත් කැමරූන් කණ්ඩායම ඉතාලියේ පැවති 1990 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දීප්තිමත් ආලෝකය වුනා.

ලෝක ශූරයින්ව සිටි ආජන්ටිනාව, රුමේනියාව සහ කොලොම්බියාව යන කණ්ඩායම්වලට එරෙහිව කැමරූන් කණ්ඩායම ජයග්‍රහණ ලබා ගත්තේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක දී අප්‍රිකානු කණ්ඩායමක් ජයග්‍රහණ තුනක් වාර්තා කළ පළමු අවස්ථාව ඉතිහාසගත කරමින්.

ඒ දක්ෂතාව අප්‍රිකානු පාපන්දු සාර්ථකත්වයේ නව යුගයක පෙරමඟ දැක්වීමක් වනු ඇතැයි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වූ අතර එය, වසර 2000 වන විට අප්‍රිකානු කණ්ඩායමක් විසින් ලෝක පාපන්දු කුසලානය දිනා ගනු ඇතැයි යන පේලේගේ මතය සාධාරණීකරණයට සුදුසු බව ඔප්පු කිරීමක් ලෙසින් ද පෙනුණා.

කෙසේ වෙතත් අවසානයේ ඒ අනාවැකිය සාර්ථක වුනේ නැහැ.

එහෙත් 2002 වසරේ දී සෙනෙගාලය ලෝක පාපන්දු කුසලානයට අයිතියක් තිබෙන බවක ඡායාවක් මවමින් ඒ වන විට කුසලානය හිමිකර ගෙන සිටි ප්‍රංශය පරදවා ලෝක කුසලාන තරගාවලියක මූලික වටයෙන් – Group Stage – ඔබ්බට අපරාජිතව ගිය පළමු අප්‍රිකානු කණ්ඩායම බවට පත්වුනා.

තෙහෙට්ටුව සහ රත්තරං ගෝලයක් නිසා ඔවුන්ට ගමන සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූවත්, ඒ සාර්ථකත්වය සෙනෙගාල් පාපන්දුවේ ප්‍රධාන ප්‍රවණතාවක් දියත් කළා.

2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී මූලික වටයෙන් ඉදිරියට ගිය අප්‍රිකානු රටවල් හය අතරින් එක ම රට බවට පත්වූයේ ඝානා කණ්ඩායමයි.

ඝානා රට 2006 මංගල ලෝක කුසලාන තරගාවලියෙන් ලබා ගත් අත්දැකීම සහ 2009 වයස අවුරුදු 20න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ අපේක්ෂාවන් ඒකාබද්ධ කර ගනිමින් සංවිධානාත්මක, විනයානුකූල පාපන්දු ක්‍රීඩාවක නියැලුණු අතර සර්බියාව සහ ඇමරිකාව අභිබවා ලබා ගත් ජයග්‍රහණවලින් පසුව අවසන් පූර්ව වටයේ ස්ථානයක් අභියසට ම පැමිණියා.

මේ ඉක්මවීමේ අප්‍රිකානු කණ්ඩායම්වල නොහැකියාව යුරෝපය සහ දකුණු ඇමරිකාවට සාපේක්ෂව අප්‍රිකානු මහද්වීපයේ තිබෙන ආර්ථික අවාසි සමඟ සම්බන්ධ වී තිබෙනවා.

ලෝක ජනගහණ සමාලෝචනයට අනුව වසර 2020 වන විට ජාතික දල ඒකපුද්ගල ආදායම අනුව ලෝකයේ දුප්පත් ම රටවල් දහයෙන් නවයක් ම තිබෙන්නේ අප්‍රිකාවේ.

මෙයින් ඒ මහද්විපයේ සංවර්ධනයේ හැකියාව සීමා කිරීමක් නිර්මාණය වන අතර එමගින් දූෂණයට මං විවර වී වෘත්තීය දක්ෂතාව අවහිර කර තිබෙනවා.

අප්‍රිකාවේ ලෝක කුසලාන පාපන්දු තරග වැඩි වශයෙන් වැටුප් නොගෙවීම ඇතුළුව අපකීර්තිමත් ක්‍රියාවලින් අපිරිසිදු වී තිබෙන්නේ බලධාරීන් නින්දාවට ද ලක්වෙමින්.

“දේශපාලනය ඉතාම ළඟින් පාපන්දුව සමඟ සම්බන්ධ වී තිබෙනවා,” යැයි හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු වන Gabriel Zakuani ‘අල් ජසීරා’ පුවත් සේවයට පවසා තිබෙනවා.

“අප්‍රිකානු රටවල් සමඟ මෙය ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. විශේෂයෙන් ඒ බෝනස් මුදල්වලින් යැපෙන දේශීය ක්‍රීඩකයින් සඳහා. එය එසේ ඉටු නොවුනොත් ඔවුන්ගේ අවධානය පාපන්දුවෙන් පිට වෙනතකට යොමු වෙනවා. ඒ නිසා ලෝක කුසලානයකට හෝ ප්‍රධාන තරගාවලියකට යාමට පෙර ඒ ගැන අවධානය යොමු කළ යුතුයි.”

වැඩි කතාබහට ලක්ව තිබෙන තවත් විශේෂ කාරණයක් වන්නේ ලෝක කුසලානය වෙනුවෙන් අප්‍රිකාව ට ලබා දී ඇති සීමාසහිත ස්ථාන සංඛ්‍යාවයි.

සාමාජික රටවල් 54කින් සමන්විත අප්‍රිකානු මහද්වීපයට ලැබෙන්නේ ස්ථාන පහක් පමණයි. එය ද, සිදු වූයේ 1998 වර්ෂයේ සිට.

මෙය අනෙකුත් මහද්වීප සමඟ සංසන්දනය කරන විට, සුදුසුකම් ලත් රටවල් 55කින් යුත් යුරෝපයට ස්ථාන 13ක් ලැබෙන අතර රටවල් 10කින් පමණක් සමන්විත දකුණු ඇමරිකාවට ස්ථාන 4ක් සහ 5ක් අතර ප්‍රමාණයක් ලැබෙනවා.

සම්භාවිතාවට අනුව මෙය අප්‍රිකාවට තරගාවලිය සඳහා බලපෑමක් ඇති කිරීමේ හැකියාව අඩු කිරීම පිණිස ඉතා බැරෑරුම් ලෙස බලපානවා. මෙයින් ගම්‍ය වන අනෙක් කරුණ වන්නේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වැඩියෙන් ම තරගකාරිත්වයක් තිබෙන, වඩාත් ම අසීරු  මහද්වීපය බවට අප්‍රිකාව පත්වීම.

වසර 2000 ගණන්වල පසු කාලයේ දී Africa Cups of Nations ශූරතා තුනක් පිට පිට දිනා ගැනීමට අමතරව 2009 Confederations Cup තරගාවලියේ දී ඉතාලිය පරාජය කර තිබිය දීත් ඊජිප්තුවට 2006 සහ 2010 ලෝක කුසලාන තරගාවලි සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූයේ විස්මිත අයුරින්.

මේ වසරේ දී නයිජීරියාව සහ අයිවරි කෝස්ට් යන අප්‍රිකානු ශූරතාව කිහිප වතාවක් ම ජයග්‍රහණය කළ කණ්ඩායම් දෙකට ම ලෝක කුසලාන වරම් අහිමි වී තිබෙනවා. මේ, ඊජිප්තුව සහ ඇල්ජීරියාවට අමතරව.

තම කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසි වීමෙන් පසුව දකුණු අප්‍රිකාවේ පුහුණුකරු Hugo Broos අප්‍රිකානු මහද්වීපය සම්බන්ධයෙන් මේ ජනප්‍රිය ප්‍රකාශය කළා: “මෙය සාධාරණ නැහැ. අප්‍රිකාවේ හොඳ කණ්ඩායම්වලට වඩා යුරෝපයේ හොඳ කණ්ඩායම්වලට ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්න පහසුයි,” යනුවෙන් ඔහු දකුණු අප්‍රිකානු පුවත්පතක් වන The Citizenට පැවසුවා.

කැමරූන්, මොරොක්කෝව, සෙනෙගාලය, ටියුනීසියාව සහ ඝානාව යන අප්‍රිකානු ‘සිංහයන්’ කටාර් 2022 ලෝක කුසලාන තරගාවලියේ දී අප්‍රිකාව නියෝජනය කරනවා.

මේ කණ්ඩායම් පහ ම පාපන්දු ක්‍රීඩාවේ ඉහළ ම ඉසව්වේ මීට කලින් පෙනී සිටියා. කැමරූන්, මොරොක්කෝව සහ සෙනෙගාලය මේ වසර මුල පැවති Africa Cup of Nations තරගාවලියේ දී අවසන් අට දෙනා අතරට පිවිසියා.

‘1994 වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා’ සම්මානය හිමිකර ගත් Emmanuel Amuneke පවසන පරිදි මැද පෙරදිග තරගාවලියේ සාර්ථකත්වය සඳහා හොඳම අවස්ථාව අප්‍රිකානු මහද්වීපයෙන් නියෝජනය වන්නේ සෙනෙගාලය සහ මොරොක්කෝවෙන්.

රුසියාවේ දී පැවති පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී දෙවැනි වටයට කිසිම කණ්ඩායමක් නොයාමේ අඩුපාඩුව නිවැරදි කර ගැනීම සඳහා කටාර් දේශයේ පැවැත්වෙන තරගාවලිය අප්‍රිකානු කණ්ඩායම්වලට ලැබෙන මහඟු අවස්ථාවක් බව Amuneke පවසනවා.

ඔහුගේ ඒ විශ්වාසය සෙනෙගාලය පිළිබඳව වඩාත් ධනාත්මකව සිතන Zakuani ද පිලිගන්නවා.

ලෝක කුසලාන තරගාවලිවල සැමවිටම ‘වයිල්ඩ් කාඩ්’ එකක් තිබෙනවා කියා මා සිතනවා,” Zapuani කියනවා. “මම නම් හිතන්න කැමති සෙනෙගාලය අවසන් පූර්ව වටයට යාවි කියලයි. බොහෝ දෙනා මට පිස්සු කියලා කියාවි. නමුත් මේ වෙලාවේ සෑම දෙනාව ම අන්දමන්ද කරන්න පුළුවන්කම තියෙන්නේ සෙනෙගාලයට.”

මේ සඳහා සෙනෙගාලයට උපකාරයක් වී තිබෙන්නේ ඔවුන් සත්කාරක කටාරය, ඉක්වදෝරය සහ නෙදර්ලන්තය සමග A කොටසට ඇතුළත්ව සිටීම.

මොරොක්කෝව, කැමරූන්, ටියුනීසියාව සහ ඝානා යන කණ්ඩායම් අධෛර්යමත් කරවන කොටස්වලට ඇතුළත්ව සිටින්නේ බෙල්ජියම, බ්‍රසීලය, ලෝක කුසලාන ශූරයින් වන ප්‍රංශය සහ පෘතුගාලය වැනි ලොව ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් ම සිටින කණ්ඩායම් ඔවුන්ගේ ඒ ඒ කොටස්වලට ඇතුළත්ව සිටින නිසාවෙන්.

අප්‍රිකාව නියෝජනය කරන කණ්ඩායම් ඉදිරියේ තිබෙන්නේ පෙර නොවූ විරූ අභියෝගයක්. එය ජය ගැනීම ට නම් ඔවුන් ඉතාමත් වෙහෙස මහන්සි වී ක්‍රීඩා කළ යුතුව තිබෙනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<