ලෝක පාපන්දු කුසලානයේ විශිෂ්ටතම පෙරළිකාර ජයග්‍රහණ

FIFA World Cup 2022

283

ආජන්ටිනාව දෙවතාවක් ම – 1978 සහ 1986 – ලෝක පාපන්දු කුසලානය දිනා ගෙන තිබෙනවා. නමුත් ‘කටාර් 2022’ තරගාවලියේ දී ඔවුන් ඉතිහාස පොතට ආජන්ටිනා නාමය සටහන් කළේ සම්පූර්ණයෙන් ම වෙනස් තාලයකට.

ක්‍රීඩා දත්ත ආයතනයක් වන Gracenoteට අනුව සෞදි අරාබිය හමුවේ ආජන්ටිනාව ලැබූ 2-1 දැවැන්ත පරාජය ලෝක පාපන්දු කුසලාන ඉතිහාසයේ විශාලතම පෙරළිකාර ජයග්‍රහණය වෙනවා.

තෙවසරක් පුරා අපරාජිතව සිටිමින් ලොව අංක 3ට ශ්‍රේණිගතව සිටින ලයනල් මෙසීගේ මෙහෙයවීමෙන් යුත් ආජන්ටිනාව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන්නේ කුසලානය දිනා ගනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරන කණ්ඩායම්වලින් එකක් ලෙසින්. ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල තමන්ට වඩා ස්ථාන 48ක් පහළින් සිටින සෞදි අරාබිය පහසුවෙන් ම අතුගා දමනු ඇතැයි වැඩි දෙනාගේ මතය වී තිබුණා.

බොහෝ විට සිය අවසාන ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු වන මෙසී පිළිබඳවයි තරගයට පෙර ලෝකයාගේ කතාබහ යොමුව තිබුණේ.

ආජන්ටිනා නායකයා තරගයේ මුල් අවස්ථාවේ දී ම පෙනල්ටියක් සාර්ථකව එල්ල කරමින් තම කණ්ඩායම පෙරමුණට ගෙනැවිත් තිබුනත්, තරගයේ දෙවැනි භාගයේ මිනිත්තු හයක් ඇතුළත Saleh Al-Shehri සහ Salem Al Dawsari ලබා ගත් ගෝල දෙක තරගය සම්පූර්ණයෙන් ම උඩුයටිකුරු කළා.

දුර සිට Al Dawsari එල්ල කළ විස්මය ජනක ගෝලය සහ ඉක්බිති ඔහු කරණම් ගසමින් එහි සතුට සැමරූ ආකාරය මේ තරගාවලියේ පමණක් නොව ඕනෑම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අමරණීය මොහොතක් වනවාට කිසිම සැකයක් නැති අතර එය නැරඹීමට තරම් වාසනාව ලද ක්‍රීඩාලෝලියෙකුට මේ ගෝලය ජීවිතයේ කිසිදා අමතක නොවන සිදුවීමක් වනු ඇති. මේ ජයග්‍රහණය කොතරම් විශේෂිත එකක් වූයේ ද යත්, සෞදි අරාබි රජය ජයග්‍රහණයට පසු දිනය රටේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළා.

Gracenoteට අනුව මීට පෙර වාර්තා වන වැඩියෙන් ම අනපේක්ෂිත වූ ලෝක කුසලාන ජයග්‍රහණය වන්නේ 1950 දී එංගලන්තයට එරෙහිව ඇමරිකාව ලැබූ ජය. එහි දී ජයග්‍රහණයක් සඳහා ඇමරිකානු කණ්ඩායමට තිබුණේ සියයට 9.5ක ප්‍රතිශතයක්.

නමුත් අඟහරුවාදා සෞදි අරාබි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා තිබුණේ සියයට 8.7ක ප්‍රතිශතයක් බැවින් ඔවුන් පෙරළිකාර ජයග්‍රහණවල ඉහළ ම ස්ථානයට පත්වෙනවා.

වසර 92ක ලෝක කුසලාන පාපන්දු කතාන්දරයේ තිබෙන වඩාත් ම අනපේක්ෂිත විශේෂ ජයග්‍රහණ කිහිපයකි මේ.

ඉතාලිය 1990: කැමරූන් 1 – ආජන්ටිනාව 0

1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී ලෝකය මවිත කළ ඩියෙගෝ මැරඩෝනාගේ විශිෂ්ට දස්කම් මත ආජන්ටිනාව ඔවුන්ගේ දෙවැනි ලෝක පාපන්දු කුසලානය හිමිකර ගෙන සිටියා.

ඊට සිව් වසරකට පසුව ඉතාලිය ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දැක්වූ අතර මැරඩෝනා එම තරගාවලියට පැමිණියේ Napoli යන ඉතාලි සමාජය සංකේතාත්මක Serie A කිරුළක් කරා මෙහෙයවීමෙන් පසුව.

ඉතාලි 1990 තරගාවලියේ ආජන්ටිනාවේ ආරම්භක තරගයේ ප්‍රතිවාදීන් වූයේ  කැමරූන් කණ්ඩායම. ඒ වන විට එම කණ්ඩායම ඒ වසරේ අප්‍රිකානු කුසලාන තරගාවලියේ මූලික වටයෙන් ම ඉවතට විසි වී සිටි අතර වසර තුනක කාලයක්  කණ්ඩායමට ක්‍රීඩා නොකළ 38 හැවිරිදි ක්‍රීඩක Roger Milla මෑතක දී නැවත කැඳවා තිබුණා.

කැමරූන් කණ්ඩායම ආජන්ටිනා විජ්ජාකාරයා වූ මැරඩෝනා පන්දුව ස්පර්ශ කළ සෑම අවස්ථාවකම නීති විරෝධීව හැසිරෙමින් ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා නොදුන් තරම කොතරම් ද කිවතොත් නිරන්තරයෙන් දඬුවම් ලැබූ එම අප්‍රිකානු කණ්ඩායම තරගය අවසන් කළේ ක්‍රීඩකයන් නව දෙනෙකුගෙන්.

කෙසේ වෙතත්, තරගයේ දෙවැනි භාගයේ දී Francois Omam-Biyik පන්දුව හිසෙන් දැල තුලට යවමින් ලබා ගත් ගෝලය කැමරූන් කණ්ඩායමට ජනප්‍රිය ජයග්‍රහණයක් ගෙන දේමට ප්‍රමාණවත් වුනා.

දකුණු කොරියාව සහ ජපානය 2002: සෙනෙගාලය 1 – ප්‍රංශය 0

ප්‍රංශය ඔවුන්ගේ රටේදී බ්‍රසීලය අවසාන තරගයේ දී ගෝල 3-0කින් පරදවමින් 1998 ලෝක කුසලානය දිනා ගැනීමෙන් දෙවසරකට පසුව ‘යුරෝ 2000’ තරගාවලිය ජය ගත් අතර දකුණු කොරියාව සහ ජපානයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන් සිය කිරුළ රැක ගනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබුණා.

ප්‍රංශයේ පළමු තරගය යෙදී තිබුණේ සිය මංගල ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වෙමින් සිටි සෙනගල් කණ්ඩායම සමඟ.

ප්‍රංශයේ යටත් විජිතයක්ව සිටි සෙනගල් කණ්ඩායම මේ තරගය එළඹෙන තුරු බලා සිටියේ නොඉවසිල්ලෙන්. El Hadji Diouf, Khalilou Fadiga සහ වර්තමාන සෙනගල් ප්‍රධාන පුහුණුකරු Aliou Cisse වැනි විශිෂ්ට ක්‍රීඩකයන් සමඟ සෙනෙගාලය ඔවුන්ගේ ප්‍රයමනාප ප්‍රතිවාදීන් හමුවට ගියේ ඔවුන්ගේ ගෙල සිර කිරීමේ අපේක්ෂාව පෙරදැරි කරගෙන.

Diouf ආකර්ෂණීය ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කළත් තරගයේ එක ම ගෝලය ලබා ගනිමින් සෙනෙගාලයට විස්මිත ජයග්‍රහණයක් තහවුරු කර දුන්නේ Papa Bouba Diop නමැති නුපුරුදු ක්‍රීඩකයා.

ප්‍රංශය අගාධයේ පතුලට ම කඩා වැටුණේ තරගාවලියේ ඔවුන් අයත්ව සිටි කොටසේ අන්තිමයා බවට පත්ව පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසීමට අසමත් වීමෙන්.

ස්පාඤ්ඤය 1982: ඇල්ජීරියාව 2 – බටහිර ජර්මනිය 1

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ප්‍රථම වතාවට සහභාගි වූ තවත් අප්‍රිකානු කණ්ඩායමක් වූ ඇල්ජීරියාව, බටහිර ජර්මනිය සමග එක් කොටසක තරග වැදුණේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සදාකල් වෙනසකට මග පාදමින්.

සුදුසුකම් ලබා ගැනීමේ සෑම තරගයක්ම ජයග්‍රහණය කරමින් බටහිර ජර්මනිය මේ තරගයට පිවිසියේ සමස්ත තරගාවලිය ජය ගනු ඇතැයි අපේක්ෂා කෙරුණු කණ්ඩායම් අතරින් ජනප්‍රිය කණ්ඩායමක් ලෙසින්. කණ්ඩායම කොතරම් විශ්වාසයකින් යුතුව සිටියේද යත්, තරගයකින් පරාජය වුවහොත් තමා නැවත මියුනික් නුවර බලා යන පළමු දුම්රිය ට ම නගින බව කළමනාකරු Jupp Derwall ප්‍රකාශ කර තිබුනා.

ඒ අහංකාරකම නැවත Derwall හොල්මන් කිරීමට පැමිණියේ කුමන ආකාරයකින් හෝ නොදන්නා ඇල්ජීරියා කණ්ඩායමක් බටහිර ජර්මනිය අභිබවා යාම නිසා.

Rabah Madjer මාර්ගයෙන් මේ උතුරු අප්‍රිකානු රට තරගයේ 54 වැනි මිනිත්තුවේ දී ඉදිරියට පිවිසිය ද, ඊට මිනිත්තු 13කට පසුව Karl-Heinz Rummenigge තරගය සම තත්ත්වයට ගෙන ආවා. එහෙත් තරගය ආරම්භයේ සිට ම පිටියේ ප්‍රතිවාදී කලාපය ආක්‍රමණය කළ ඇල්ජීරියාව තරගයේ පෙරමුණ නැවත ලබා ගැනීමට සමත් වුනා.

මේ ජනප්‍රිය ජයග්‍රහණය අත්කර ගෙන තිබිය දීත් ඇල්ජීරියාවට තරගාවලියේ තම කොටසේ මූලික වටයෙන් ඉදිරියට යාමට නොහැකි වුනා. ඒ, බටහිර ජර්මනිය 1-0කින් ඔස්ට්‍රියාව පරාජය කළ බැවින්. ඇල්ජීරියා පසෙකට තල්ලු කරමින් මේ යුරෝපීය කණ්ඩායම් දෙකට ඊළඟ වටයට පිවිසීමට මේ ප්‍රතිඵලය හේතු වුනා.

“Disgrace of Gijon” ලෙසින් හැඳින්වෙන මේ සිදුවීමෙන් පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මූලික වට තරග සමකාලික ලෙස පැවැත්වෙනවා.

බ්‍රසීලය 1950: ඇමරිකාව 1 – එංගලන්තය 0

පෙර පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලි තුනට සහභාගි නොවීමට තීරණය කර සිටි එංගලන්තය එම තරගාවලියට සහභාගි වූ පළමු අවස්ථාව මෙය වුනා. බ්‍රසීලයේ පැවති 1950 ලෝක කුසලානයට පෙර පාපන්දු ක්‍රීඩාව දශක ගණනාවක් තිස්සේ එංගලන්තයේ සම්පූර්ණයෙන්ම වෘත්තීය වූ ක්‍රීඩාවක් බවට පත්ව තිබුණා.

එංගලන්තයට ක්‍රීඩා කිරීමට තිබුණේ මිනීවලවල් හාරන්නෙක්, පිඟන් හෝදන්නෙක් සහ තැපැල්කරුවෙක් ඇතුළත්ව සිටි අර්ධ වෘත්තීය සහ ආධුනික ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඇමරිකානු කණ්ඩායමකට එරෙහිව.

එහෙත් මේ ආධුනිකයන් පළමු විශිෂ්ට ලෝක කුසලාන පාපන්දු පෙරළිකාර ජය වාර්තා කළේ තරගයේ පළමු භාගයේ අවසානය ළඟා වෙමින් තිබිය දී Joe Gaetjens හිසෙන් ලබා ගත් ගෝලයෙන් ඇමරිකාව අපූර්ව ජයග්‍රහණයක් කරා ගෙන යමින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<