ඒ මගේ අක්කා වෙනුවෙන්!

946

2006 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ ඔබට දැකිය හැකි අයිකොනික්ම ඡායාරූපය Fabio Cannavaro විසින් ඉතාලිය දිනා ගත් ලෝක කුසලානය අතැතිව සිටිනා අවස්ථාව නොවේ, තමන් දිනා ගැනීමට බලාපොරොත්තුවෙන් ආ ලෝක කුසලානය පහත් කර ගත් හිසින් යුතුව පසුකරගෙන යන Zinedine Zidane ඡායාරූපයයි.

Zidaneගේ හිස තමයි අපේ කතාවේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ. ඒ හිස ගැන කතාව ආරම්භ කරන්න හොඳම තැන තමයි 1998 ජූලි 12 වැනිදාව.

Zinedine Zidane කියන්නේ ප්‍රංශයෙන් බිහිවුණු අග්‍රගණ්‍යම පාපන්දු ක්‍රීඩකයෙක්. කොහොම වෙතත් Zidane කියන නම කොච්චර ප්‍රබල එකක් වුනත්, 1998 ජූලි 12න් පස්සේ පිරිසක් Zidane කියන නම වන්දනාමාන කරන්න පටන් ගත්තා කියලා කීවත් වැරැද්දක් නැහැ. මොකද එදා Zidane විසින් තමන්ගේ හිස විතරක් පාවිච්චි කරලා මුළු බ්‍රසීලයම අඬවන්න සමත් වුනා.

98 ජූලි 12 කියන්නේ Zidaneගේ රාත්‍රිය

1994 දී පාපන්දු ලෝක ශූරයින් විදිහට කිරුළු දරන්න සමත් වුනු Dungaගේ නායකත්වයෙන් යුත් බ්‍රසීල කණ්ඩායම, 1998 දීත් ඔහු යටතේම තවත් ලෝක කුසලාන ජයග්‍රහණයක් පේන තෙක් මානයට ආවා.

94 දී එකම තරගයක්වත් ක්‍රීඩා කරන්න නොලැබුනු Ronaldo (Luís Nazário de Lima) 98 දී ගෝල පහක් ලබා ගන්න සමත් වුනා. නමුත් ප්‍රංශය සමඟ පැවැත්වීමට නියමිතව තිබුණු අවසන් මහා තරගයට පෙර රාත්‍රියේ දී හදිසියේම Ronaldo රෝගාතුර වෙනවා.

එතැනින් පස්සේ  බ්‍රසීල කණ්ඩායමේ දවස තවත් නරක අතට හැරෙනවා විනා හොඳක් වුනේම නැති තරම්. එහි අවසන් ප්‍රතිඵලය වුනේ බ්‍රසීලය 3-0ක් විදිහට අවසන් මහා තරගයෙන් ප්‍රංශය හමුවේ පරාජයට පත් වීම.

එතෙක් තරගාවලියේ ගෝල ලබා ගැනීමට අසමත් වෙලා තිබුණු Zidane විසින් මෙම තරගයේ දී බ්‍රසීලයට එරෙහිව වාර්තා වුණු පළමු ගෝල දෙකම වාර්තා කරන්න සමත් වෙන්නේ සිය හිස උපයෝගී කර ගෙනයි.

Zidaneගේ හිස ගැන අපේ කතාව ආරම්භ වෙන්නේ එතැනින්.

2006 ලෝක කුසලානයත් ප්‍රංශයට අයිති වෙන්න තිබුණා?

2004 වර්ෂයේ දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තු Zinedine Zidane නැවත වසරකට පමණ පසුව ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙලා, 2006 ප්‍රංශ කණ්ඩායම සමඟ ලෝක කුසලානය නියෝජනය කරන්නත් එනවා. ඔහු එන්නේ තවත් එක ක්‍රීඩකයෙක් විදිහට විතරක්මත් නෙවෙයි, කණ්ඩායමේ නායකයාත් විදිහට.

2006 ජර්මනියේ පැවැත්වුණු පාපන්දු ලෝක කුසලානයේ දී ප්‍රංශයට අවසන් මහා තරගය වෙනකම් එන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරල දෙන්න Zidaneගේ පාර්ශවයෙන් විශාල දායකත්වයක් ලැබෙනවා.

l අවසන් කණ්ඩායම් 16 අතර තරග වටය – ස්පාඤ්ඤය සමඟ (3-1)

Zinedine Zidane – ගෝල එකයි

l අවසන් පූර්ව තරගය – පෘතුගාලය සමඟ (1-0)

Zinedine Zidane – ගෝල එකයි

l අර්ධ අවසන් පූර්ව වටය – බ්‍රසීලය සමඟ (1-0)

Zinedine Zidane – සාර්ථක පන්දු යොමු කිරීමක් (Assist)

ඒ අයුරින් අවසන් මහා තරගය තෙක්ම ප්‍රංශය වෙනුවෙන් සිය දායකත්වය නායකයෙක් මෙන්ම, ක්‍රීඩකයෙක් ලෙසත් Zidane විසින් ලබා දෙන්න සමත් වෙනවා.

අවසන් මහා තරගයේ දීත් තමන් විසින් පවත්වා ගෙන ආ රිද්මයේ සිටම තරගයේ හත් වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ප්‍රංශය වෙනුවෙන් ගෝලයක් රැස් කිරීමට Zidane සමත් වෙන්නේ එය එම තරගාවලියේ සිය තුන් වැනි ගෝලය ලෙස ද, ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගවල ඔහු විසින් රැස් කළ තුන් වැනි ගෝලය ද ලෙස සටහන් කර ගනිමිනුයි.

නමුත් Zidane විසින් ලබා දුන් ඉදිරිය ප්‍රංශ කණ්ඩායමට පවත්වා ගැනීමට හැකියාව ලැබුණේ මිනිත්තු 12ක් පමණයි. ඉතාලි ක්‍රීඩක Marco Materazzi තම කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් රැස් කිරීමට සමත් වන්නේ 1-1ක් ලෙස ප්‍රංශය හා සම වෙමිනුයි.

එතැනින් පසු තරගයේ නියමිත කාලය අවසන් වන තුරාවටම කණ්ඩායම් දෙකම ගෝල රැස් කිරීමට අපොහොසත් වන අතර, ලද අතිරේක කාලයේ දීත් දෙපිළම ගෝල ලබා ගැනීමට අසමත් වනවා.

නමුත් මෙහි දී තරගයේ 110 වැනි මිනිත්තුවේ දී ලෝක කුසලාන ඉතිහාසයේ කිසිදාක අමතක නොවන සිදුවීමක් නම් සිදු වෙනවා.

Zinedine Zidane විසින් 98 දී වගේම නැවතත් සිය හිස පාවිච්චි කරනවා

නමුත් මෙවර Zidane විසින් සිය හිස භාවිත කරමින් ලබා ගන්නේ ගෝලයක් නම් නෙවෙයි, ඔහු එම තරගයේ දී ඉතාලි කණ්ඩායම වෙනුවෙන් ගෝලය ලබා ගැනීමට සමත් වූ Marco Materazziගේ පපු පෙදෙසට සිය හිසෙන් පහරක් එල්ල කරමින් Materazzi ව බිම ඇද වට්ටවනවා.

ඒ සිදු වීම ඒ මොහොතේ බොහෝ දෙනෙක්ව (ක්‍රීඩකයින් සහ විනිසුරුසුවන් ද ඇතුළුව) වික්ෂිප්ත කරවූ එකක්. ඒත් මොහොතකින් ක්‍රියාත්මක වෙන තරග විනිසුරුවරයා Zidaneට රතු කාඩ් පත (Red Card) පෙන්වමින්, ඔහුව පිටියෙන් ඉවත් කරනවා.

එයත් සමඟින් ලොවට බිහි වූ තවත් එක පාපන්දු පුරාවෘත්තයක් බඳු නමක් සිය ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදෙමින්, අනපේක්ෂිත සහ අදහා ගත නොහැකි අයුරින් හිස බිමට බර කර ගනිමින් පිටියෙන් ඉවත් වී යනවා.

අවසන් මහා තරගයේ නියමිත කාලය පුරාවටම 1-1ක් ලෙස සම මට්ටමේ සිටි කණ්ඩායම් දෙක අතරින් ජයග්‍රාහකයින් තෝරා ගැනීමට දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාව ලබා දෙන අතර එහි දී 5-3ක් ලෙස සිය ජයග්‍රහණය සනාථ කර ගැනීමට ඉතාලි කණ්ඩායම සමත් වෙනවා.

සමහර විට Zidane තව මිනිත්තු කිහිපයක් ඉවසුවා නම් ඒ ඔහුගේ දෙවැනි ලෝක කුසලාන ජයග්‍රහණය වීමටත් ඉඩ තිබුණා.

නමුත් යක්ෂයා ඔහුගේ ජීවිතයට පැමිණියේ ඔහුගේ ජීවිතයේ වැදගත්ම සහ උච්චතම අවස්ථාවක දීයී. ඊට අවනත වූ Zidane සිය පාපන්දු ජීවිතයේ අවසානය කිසිවකු හෝ බලාපොරොත්තු නොවන අන්දමින් අවසන් කළා.

Materazziට හිසෙන් ගහන්න තරම් Zidane තිබුණු හේතුව මොකද්ද?

මේ සිදුවීම සිද්ධ වුණු කාලයේ දී නම් මේ ගැන ප්‍රචලිත වුණු කතාව තමයි Materazzi විසින් නීච විදිහට Zidaneගේ මව අලලා ජාතිවාදී ප්‍රකාශයක් කළ බව සහ ඊට පිළිතුරු ලෙස Zidane විසින් Materazzi හට එම ප්‍රහාරය එල්ල කළ බව.

නමුත් ඇත්ත ඊට ටිකක් ඈතයි.

Materazziට තමන්ගේ මව අහිමි වෙන්නේ වයස අවුරුදු 15 දී. එදා සිදුවීමෙන් පස්සේ Materazzi තමන්ගේ මවගේ වියෝව මතක් කරන අතරේම මෙන්න මෙහෙම කතාවක් කියනවා.

“මම Zidaneගේ මවට අපහාස කරා කියලා ලියන්න සහ පවසන්න පුළුවන් ඒ දේ ගැන නොදන්න, මම ගැන නොදන්න අයට පමණයි. මම කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ, මම කියන්නේ කවමදාවත් නැහැ. ඒ කියන්නේ පුද්ගලයෙක් සතු

විය හැකි ආදරණීයම සෙනෙහස විදිහට මම සලකන දෙයට නින්දා කරන්නේ නැහැ. මොකද මම දන්නවා ඒ සෙනෙහස අහිමි වීම මොන වගේ දෙයක් ද කියලා.”

ඒ ක්ෂණික සිදු වීම නිසා Zidane තරගයෙන් අනතුරුව සිය කණ්ඩායම් සගයින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා,

“ ඔහු සමාව ඉල්ලුවේ ඇයි ද කියන්න මම දන්නේ නැහැ, මම ඒ සිදුවීමේ පුණුරූපනය නරඹද්දී හිතුණේ වාව් වාව් වාව් කියලා. එච්චරයි!

ඔහු තරමක් සැඟවුණු (අන්තර්වර්තික – introvert) පුද්ගලයෙක්. නමුත් ඔබ තේරුම් ගත යුතු දෙයක් තියෙනවා, මේ සිදුවීමට පෙර ඔහුට රතු කාඩ් පත් 10ක් තරගවල දී ලැබිලා තිබෙනවා. ඒ වගේ වෙලාවල් තියෙනවා, දක්ෂයින්ට තමන්ගේ ඉවසීම නැති වෙන විදිහේ.”

මේ විදිහට තම කණ්ඩායම් සගයා ගැන සහ ක්ෂණික මොහොතක ඔහු සොයා ආ යක්ෂයා පිළිබඳ සිය හැඟීම පවසා තිබුණේ Mikael Silvestre විසිනුයි.

ඇත්ත එළියට එන්නේ වසර 14කට පස්සේ!

සිදුවීම ගැන දෙපාර්ශවයෙන්ම හරි හැටි පැහැදිලි ප්‍රකාශයක් මුලින්ම නිකුත් වෙන්නේ Materazzi මගින්, ඒ 2020 වර්ෂයේ දී.

“ Zidaneගේ පහර මම ඒ වෙලාවේ බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි. ඒ සිදුවීම මාව සම්පූර්ණයෙන්ම පුදුමයට පත් කළා. ඒ වගේ දෙයක් සිදු වේවි කියලා මම අපේක්ෂා කළා නම් මට ඒ වෙනුවෙන් සූදානම් වෙලා ඉන්න තිබුණා.

අපි දෙන්නා අතර කලිනුත් පොඩි ඝට්ටනයක් ඇති වුනා, ඒ වගේම ඔහු තමයි පළමු අර්ධයේ දී ප්‍රංශය වෙනුවෙන් ගෝලය වාර්තා කළෙත්. ඒ නිසා අපේ පුහුණුකරු Marcello Lippi මට කිව්වා එයා ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා ඉන්න කියලා.

පළවෙනි වරට අපි දෙන්නා අතර වුන ගැටීමෙ දී මම ඔහුගෙන් සමාව ඉල්ලුවා, නමුත් ඔහු ඒකට දැක්වුවේ ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි.

තුන්වැනි වරටත් අපි එකිනෙකා ගැටෙද්දී මම පොඩ්ඩක් නළල රැලි කර ගත්තා, ඒ වෙලාවේ ඔහු (Zidane) මට කිවුවා ‘මම මගේ කමිසය තරගයෙන් පසුව ඔබට දෙන්නම්’ කියලා. ඒ වෙලාවේ මම ඔහුට කිව්වා ඔහුගේ කමිසය වෙනුවට ඔහුගේ සොහොයුරියගේ කමිසය භාර ගන්න සූදානම් කියලා.

මගේ ඒ වචන මෝඩයි තමයි, නමුත් ඒ විදිහේ පහරක් එල්ල කරන්න තරම් දෙයක් නෙවෙයි. Rome, Naples, Turin, Milan Paris වගේ අසල්වැසි ප්‍රදේශවල මට ඊට වඩා බරපතළ දේවල් ඇහිලා තියෙනවා.

මම කතා කළේ ඔහුගේ අක්කා ගැන මිසක්, සමහර පුවත්පත් වල තිබුණා වගේ ඔහුගේ මව ගැන නෙවෙයි. මගේ අම්මා මිය ගියේ මගේ නව යොවුන් වියේ දීමයි. ඒ නිසා ඔහුගේ අම්මාට මම එහෙම අපහාස කරන්නේ නැහැ.”

ඕනෑම කතාවක දෙපැත්තක් තියෙනවා, Materazzi එහෙම කියද්දී ඒ කියපු දේවල් ප්‍රතිකශේප නොකරන Zidane ඒ කතාවට තමන්ගේ ඌණපූර්න එකතු කරනවා.

Zidaneගේ අක්කා වෙන Lila එදා තරගය පැවැත්වුණු දවසෙත් ඔහු සමඟ දෙතුන් වතාවක්ම දුරකථන සංවාදවල නිරත වෙලා තියෙනවා. මොකද ඒ වෙද්දී ඇය ඉඳලා තියෙන්නේ ඔවුන්ගේ අසනීප වෙලා හිටපු අම්මා ළඟ. ඒ වෙද්දී තරගය සහ මවගේ අසනීපය කියන කාරණා දෙකම නිසා ඔහු තරමක පීඩනයක් සමඟ සිටියා කියලයි Zidane මාධ්‍යයට හමුවේ කියලා තිබුණේ.

“ඔහු මගේ මව ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ, ඔහු ළඟ දී ඒ ගැන කියලා තිබුණා. ඒක ඇත්ත. නමුත් ඔහු ඒ වෙලාවේ මගේ අම්මාගේ ළඟ හිටපු අක්කාට අපහාස කරා. හැමෝම පිටියේ ක්‍රීඩා කරද්දී එක එක දේවල් කියනවා, සමහර විට නරක දේවලුත්. නමුත් ඔබ ඒවට කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ දවසේ වුන දේ වුනා. එය එක තත්පරයක සිදුවීමක්. ඊට පස්සේ ඒක ඉවරයි.”

මේ පාර ලෝක කුසලානය තියෙන කටාර්වල ප්‍රතිමාවක් පවා ඉදි වෙලා

මෙම සිදුවීමට සම්බන්ධ ප්‍රතිමාවක් 2013 වර්ෂයේ දී කටාර්වල දී එළිදක්වලා තිබුණා. නමුත් එළිදක්වපු මුල් කාලයේ දී ම එය ඉවත් කරන්න සිදු වුනත්, නැවතත් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් මේ අවුරුද්දේ ජුනිවල දී එම ප්‍රතිමාව ස්ථාපිත කරන්න පියවර අරගෙන තියෙනවා.

එහෙම එම ප්‍රතිමාව ඉවත් කරන්න හේතුව වුනේ ඒ මගින් ප්‍රචණ්ඩත්වය ඉස්මතු කරනවා කියන හේතුව නිසා වගේම සමහර ආගමික මතවාද සමඟ මෙවැනි ප්‍රතිමා ඉදි කිරීම පිළිබඳ එල්ල වුනු විවේචන කියලයි ආරංචි වුනේ.

නමුත් මේ ප්‍රතිමාව නැවත ස්ථාපනය කරද්දී අදාළ බලධාරීන් හේතුව විදිහට දක්වලා තිබුණේ එය මගින් ක්‍රීඩකයින් සතු ආතතිය සහ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ සංවාද ප්‍රවර්ධනය කරන්න පුළුවන් කියලයි!

Zidane ගැන අනවශ්‍ය අටුවා ටීකා විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ, නමුත් ලිපියේ ඉහළින් සඳහන් කළා වගේම ඔහුගේ නමට මේ සිදු වීමට පෙර රතු කාඩ් පත් 10ක් ලැබිලා තිබුණා. ඒ නිසා මේක අහම්බයක්මත් නෙවෙයි, සරලවම කියනවා නම් ඒක Zidaneට පුරුදු දෙයක්.

ඒත්,

තමන්ගේ ජීවිතයේ අවසන් තරගයේ දී, ලෝක කුසලාන අවසාන මහා තරගයක දී එහෙම දෙයක් වෙනවා කියන්නේ තරමක් දරාගන්න අසීරූ දෙයක්.

ප්‍රේක්ෂකයින්ටත්, මේ ලියන මටත් ඒක එහෙම නම් ඔහුට කොහොම වෙන්න ඇති ද?

Zidane ඒ සිදුවීම ගැන විස්තර කරන මාධ්‍ය හමුව අවසන් කරන්නේ මේ විදිහට.

“මම කළ දේ ගැන කිසිම විදිහකින් ආඩම්බර වෙන්නේ නැහැ, නමුත් එය මගේ අතීතයෙන් එක කොටසක්.”

හැම මනුස්සයෙක්ගේම ජීවිතවල අතීතයේ හිස් තැන් ඕන තරම් තියෙනවා.

ඒ බව තහවුරු වෙන්නත් එක්කම Materazzi විසින් තමන්ගේ ජීවිත කතාව පොතක් විදිහට එලිදක්වද්දී, ඒ පොතේ එක තැනක සඳහන් වෙලා තිබුණු වැකියකින් මේ ලිපිය නිමා කරන්නම්.

“මට කිසිදාක මා ලබා ගන්නා ජයග්‍රහණ සම්පූර්ණයෙන් භුක්ති විඳීමට අවස්ථාව ලැබී නැත, ඒ සෑමවිටකම කුමක් හෝ සිදුවීමක් නිසා ඒ සතුට හීන වී යයි.”

2022 පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<