මතභේදයේ දූවිල්ලෙන් පිරුණු කාන්තාරයේ ලෝක කුසලානය

708

කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වන්නේ මතභේදයේ දූවිලි කුණාටුවෙන් හානියට පත් කාන්තාරයේ ලෝක කුසලානයක් ලෙස සටහන් වෙමින්.

කලකට පසුව වැඩියෙන් ම මතභේදයට ලක්වෙමින් පැවැත්වෙන ක්‍රීඩා මෙගා ඉසව්ව මේ තරගාවලිය බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.

කටාර් දේශයේ දී නොවැම්බර් 20 වැනි ඉරු දින ඇරඹෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය දක්වා වූ සත්කාරක රටේ ගමන් මඟ පිළිබඳව ලෝකයාගේ දැඩි අවධානය ඉස්මතු වී තිබෙනවා.

එරට මානව හිමිකම් වාර්තාව, තරගාවලියට යටිතල පහසුකම් ඉදිකිරීමේ කාර්යයේ යෙදුණු සංක්‍රමික කම්කරුවන්ට සලකන විදිය හා සමලිංගික සබඳතා පිළිබඳව ඇති සිය ආකල්පය සම්බන්ධයෙන් කටාර් රට විවේචනයට ලක්වී සිටිනවා.

කටාර් හි දැනට තිබෙනවාට වඩා වැඩි කම්කරු ප්‍රතිසංස්කරණ ඉල්ලීම පිණිස එංගලන්ත පාපන්දු සංගමය සති අන්තයේ ජගත් පාපන්දු සම්මේලනය මුණගැසීමට නියමිතව තිබුණා.

සංක්‍රමික සේවක මධ්‍යස්ථානයක් දෝහා  අගනුවර ස්ථාපිත කිරීමට සහ මරුමුවට පත් හෝ තුවාල සිදු වූ කම්කරුවන්ගේ පවුල්වලට වන්දි අරමුදලක් පිහිටුවීම සඳහා ජගත් පාපන්දු සම්මේලනය ඉතා තදින් බලපෑම් කරනු ඇතැයි එංගලන්ත පාපන්දු සංගමයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ Mark Bullingham විසින් BBC පුවත් සේවයට පවසා තිබෙනවා.

කටාර් රාජ්‍යය ලෝක කුසලාන පාපන්දු සත්කාරකත්වය දිනා ගත් 2010 වසරේ සිට ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණි සංක්‍රමික සේවකයින් 6,500ක් කටාර් හි මිය ගොස් ඇතැයි The Guardian 2021 පෙබරවාරියේ දී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කටාර් රජය පවසා සිටියේ වාර්තා වී ඇති මරණ සියල්ල ම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ව්‍යාපෘතිවල සේවය කළ පුද්ගලයන්ගේ නොවන බැවින් මේ ඉලක්කම් නොමග යවන සුලු බව.

කටාර් හි ආරක්ෂක සේවාවන් විසින් එරට LGBTQ+ (සමලිංගික) ප්‍රජාවේ සාමාජිකයින් අත්අඩංගුවේ තබා ගෙන ඔවුන්ට ශාරීරිකව හිරිහැර කළ බව Human Rights Watch සංවිධානය මෑතක දී නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

පාපන්දු තරග නැරඹීම පිණිස පැමිණෙන සියලු දෙනා සාදරයෙන් පිළිගන්නා බවත් අසාධාරණ සාධක මත කිසිම කෙනෙකුට වෙනස්කම් නොකරණ බවත් කටාර් ලෝක කුසලාන සංවිධායකයින් පවසනවා.

කටාර් දේශයට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් තම කණ්ඩායමට වෙනසක් කිරීමට හැකියාවක් තිබෙන බවට සිතෙන අවස්ථාවක දී ඒ වෙනුවෙන් හඬ නගන බව එංගලන්ත පාපන්දු කණ්ඩායමේ කළමනාකරු Gareth Southgate සඳහන් කරනවා.

සමහර ක්‍රීඩකයින් විසින් සාමකාමී විරෝධතා සංවිධානය කර තිබෙන අතර එංගලන්තයේ Harry Kane සහ තවත් යුරෝපීය කණ්ඩායම් අටක නායකයින් “One Love” යනුවෙන් සඳහන් පටි අතේ පැලඳ ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

තරග ආරම්භ වීමට පෙර පිටියේ දණක් නමා වර්ගවාදයට එරෙහි බව ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සාකච්ඡා කරනු ඇතැයි එංගලන්ත ප්‍රකාශකයෙක් පවසනවා.

එංගලන්ත පාපන්දු කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන්ගේ වැඩසටහනේ කොටසක් වශයෙන් කටාර් හි සිටින සංක්‍රමික සේවකයින් මුණගැසුනු අතර  එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග දහයක් නියෝජනය කර ඇති ආරක්ෂක ක්‍රීඩක Conor Coady මෙසේ ප්‍රකාශ කළා.

“අපි අපේ පැත්තෙන්, කටාර් හි තත්ත්වය පිළිබඳව කණ්ඩායමක් ලෙස කතා කර තිබෙනවා. අපි නැවත කියන්නේ එදා කී දෙය ම යි. ඒ, පාපන්දු ක්‍රීඩාව පැහැදිලිවම තියෙන්නේ සියලු ම දෙනා ට ම කියා අපි ඇත්තටම විශ්වාස කරන බව. කණ්ඩායමක් වශයෙනුත්, ජනතාවක් ලෙසිනුත් සහ ක්‍රීඩකයන් වශයෙනුත් අපේ විශ්වාසය එය යි. අපට අවධානය යොමු කරන්න ඕන ඒ පිළිබඳවයි.”

“අපි ඇවිල්ලා ඉන්න රටේ නීතිවලට අපි ගරු කරනවා. රටේ සිදු වන සෑම දෙයකටම අපි ගරු කරනවා.”

“අපි සියලු දෙනා ම මෙහි පැමිණ සිටින්නේ එක දෙයකටයි. ඒ පාපන්දු ක්‍රීඩා කිරීමටයි. නමුත් කණ්ඩායමක් සහ ක්‍රීඩකයින් විදියට අපි විශ්වාස කරන්නේ පාපන්දුව තිබෙන්නේ සෑම දෙනාටම කියා යි. අපේ මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවට සියලු දෙනාවම ඇතුළත් කර ගත යුතුයි.”

මතිමතාන්තර සියල්ල පසෙක ලා පාපන්දුව කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ජගත් පාපන්දු සම්මේලනය තරගාවලියට සහභාගි වන කණ්ඩායම් තිස් දෙකෙන් ම ඉල්ලා තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය දේශපාලනික උවමනාවන් මතුකිරීම සඳහා වන පොදු වේදිකාවක් නොවිය යුතු බව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි ප්‍රශ්න මතු කළ යුත්තේ තරගාවලියේ සත්කාරකත්වය තීරණය කරන අවස්ථාවේ දී බව ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.

මීට දොළොස් වසරකට පෙර රුසියාවට 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පිරිනැමූ මොහොතේ දී ම කටාර් දේශයට ද 2022 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ප්‍රදානය කිරීමට ජගත් පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව තීරණය කළේ 14-8ක ඡන්දයකින්.

ඒ අවස්ථාවේ පාපන්දුවේ ලෝක පාලක මණ්ඩලයේ ප්‍රධානියාව සිටි හිටපු FIFA සභාපති Sepp Blatter පවසන පරිදි 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය පිරිනමන අවස්ථාවේ දී කටාර් හි මානව හිමිකම් වාර්තාව පිළිබඳව සාකච්ඡා වී නැහැ.

පසුගිය විසි වසර තුළ චීනය දෙවතාවක් ම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක රට ලෙස කටයුතු කර තිබෙනවා. මේ අතර පසුගිය දශකයේ දී රුසියාව ශීත සෘතු ක්‍රීඩා උළෙල සහ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යන ඉසව් දෙක ම පවත්වා තිබෙනවා.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ රටවල් දෙකට එල්ල වී තිබෙන චෝදනාවල තරම ඉතා ම විශාලව තිබිය දීත්, ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමේ අයිතිය පිරිනමමින් ජගත් පාපන්දු සම්මේලනය ලෝකය විස්මයට පත් කළ අවස්ථාවේ පටන් මේ දක්වා ගෙවුණු වසර 12 තිස්සේ සන්තාපය සහ කෝපය වැඩියෙන් ම අවුස්සා ඇත්තේ කටාර් රට යි.

චීනය හා රුසියාව මෙන් නොව බටහිර ජාතීන්ගේ ප්‍රධාන මිතුරෙකු සහ තමන්ගේ බ්‍රිතාන්‍ය ආයෝජනවලට Heathrow ගුවන් තොටුපල, ලන්ඩනයේ අහස සූරන තට්ටු හැත්තෑ දෙකේ Shard ගොඩනැගිල්ල හා Harrods department store ඇතුළත් කර ගනිමින් දැන් 10 වැනියට විශාලතම එක්සත් රාජධානියේ ඉඩම් හිමිකරු බවට පත්ව සිටින සහ වැඩිවන බලශක්ති වියදම හමුවේ අසීරුතාවට පත්ව සිටින එංගලන්තයට වැදගත් ම සැපයුම්කරුවෙකු බවට ද පත්ව සිටින කටාර් රාජ්‍යය ඔවුන්ගේ ලෝක කුසලානයේ අපකීර්තිය අසාධාරණ බවට අවධාරණය කර සිටිනවා.

මේ පළමු මැද පෙරදිග ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සැමරිය යුතු ආකර්ෂණීය හා නව නිර්මාණශීලී එකක් වනු ඇති බවටයි පොරොන්දුව. සෑම දෙනාවම සාදරයෙන් පිළිගනිමින් ක්‍රීඩාව වර්ධනය වී, තරුණයන් ප්‍රබෝධයට පත්වෙමින්, රටේ සංචාරක ව්‍යාපාරය සහ ආර්ථිකය දියුණු කරන තරගාවලියක් වනු ඇති යන්නයි අපේක්ෂාව. කටාර් හි අසල්වැසියන් විසින් පනවා තිබූ ආර්ථික තහංචි පසුගිය වසරේ ඉවත් කිරීමෙන් පසුව මේ තරගාවලිය දෙරට එක්සත් කරවන බලවේගයක් වනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.

එහෙත් මේ දක්වා වන ගමන ඉතාමත් කරදරකාරී එකක් බව ප්‍රතික්ෂේප කරන්න බැහැ.

අපකීර්තියට පත් හිටපු ජගත් පාපන්දු සම්මේලන සභාපති Sepp Blatter කටාර් සත්කාරකත්ව ජයග්‍රහණය 2010 වසරේ දී ප්‍රකාශයට පත් කළ දා පටන්, ලෝක පාපන්දු කුසලානයේ ඉතිහාසයක් නැති, අධික ග්‍රීෂ්ම උෂ්ණත්වයක් ඇති මේ කුඩා රට හරිය ට ම සත්කාරකත්වය දිනා ගත්තේ කෙසේ ද කියා බරපතළ සැකයන් පහළ වී තිබුණා.

දූෂණය, ඡන්ද මගඩි සහ රජයේ උසස් ම මට්ටමේ වෙළඳ ගිවිසුම්වලට ඇති සබඳතා පිළිබඳ නැගුණු චෝදනා සෑම අවස්ථාවක දී ම සංවිධායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඒ කිසිවක් තවමත් ඔප්පු වී නැහැ.

කෙසේ වෙතත් මීට දොළොස් වසරකට පෙර ඒ තීරණාත්මක දිනයේ දී ඡන්දය ප්‍රකාශ කළ ජගත් පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයින් 22 දෙනාගෙන් බොහෝ දෙනෙක් පසුව වරදකරුවන් බවට චෝදනා ලැබ සිටිනවා. එසේත් නැත්නම් වංචා දූෂණ චෝදනා, වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් පාපන්දු ක්‍රීඩාවේ කටයුතුවල තහනමට හෝ නඩු පැවරීම්වලට ඔවුන් ලක්ව තිබීමේ කාරණය බැහැර කරන්න බැහැ.

ජගත් පාපන්දු සම්මේලනයේ විශාල දූෂණ සම්බන්ධයෙන් 2020 වසරේ දී FBI විසින් සිදු කළ පරීක්ෂණයේ කොටසක් ලෙසින් ඇමරිකාවේ නඩු පවරන්නන් විසින් හිටපු ජ්‍යෙෂ්ඨ FIFA නිලධාරීන් තිදෙනෙකුට චෝදනා කළේ ඔවුන් කටාර් දේශයේ වාසියට ඡන්දය දීම සඳහා අල්ලස් ලබා ගත් බව කියමින්.

ජගත් පාපන්දු සම්මේලනය විසින් කටාර් දේශය ‘දූෂිත වීම’ යන කාරණයෙන් මීට වසර කිහිපයකට පෙර නිදහස් කළද කටාර් රට ලෝක කුසලාන තරගාවලිය මිල දී ගත් බවට බොහෝ දෙනා සිත් හදාගෙන තිබේ. ජයග්‍රාහී ඡන්දය කටාර් හා ප්‍රංශය අතර සිදු කෙරුණු ආයුධ ‘ඩීල්’ එකක ප්‍රතිඵලයක් බවට ද Blatter විසින් ම ඉඟි කර තිබෙනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<