පාපන්දු ලෝක කුසලානයේ වීරයන් දස දෙනා

1969

ලෝක කුසලාන පාපන්දු වීරයන් පිළිබඳ වාද විවාද දශක ගණනාවක් තිස්සේ රැය පහන් වන තුරු පැවතුණා. ඒ තර්ක විතර්ක පාපන්දුව ක්‍රීඩා කරන තාක් කල් දිගටම තිබේවි.

2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආසන්න වෙමින් තිබිය දී, එදාමෙදාතුර ලෝක කුසලාන පාපන්දුව ක්‍රීඩා කළ හොඳම වීරයන් දස දෙනා පිළිබඳ විමසා බැලීමක් මේ.

  1. Zinedine Zidane

පාපන්දු ක්‍රීඩාවේ එක් විශිෂ්ටතම ක්‍රීඩකයෙකු මෙන් ම වඩාත් ම මතභේදාත්මක ක්‍රීඩකයෙකු වන Zidane අවසාන මහා තරගයේ දී දෙවතාවක් ගෝල ලබා ගනිමින් සිය රටේ දී ප්‍රංශයට 1998 ලෝක කුසලානය දිනා දුන්නා.

ආබාධ හේතුවෙන් ඔහු 2002 ලෝක කුසලානයේ ප්‍රංශයේ කෙටි කාලීන මෙහෙයුමේ වැඩි කාලයක් තරග බිමෙන් ඉවත්ව සිටිය ද, 2006 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට හිසෙන් ඇනීමේ කුප්‍රකට ක්‍රියාව හේතුවෙන් ඔහු පිටියෙන් ඉවතට යවා තිබිය දීත් එම තරගාවලියේ වීරයා ලෙස ඔහු නම් කෙරුණා.

තරගාවලිය නිමා වී කණ්ඩායම නැවත සිය රට පැමිණි අවස්ථාවේ දී දහස් ගණන් ක්‍රීඩාලෝලීන් Zidaneගේ නම මතුරමින් පැරීසියේ වීදි දෙපස පේලි ගැසී සිටියා.

ප්‍රංශය වෙනුවෙන් තරග 108ක දී ගෝල 31ක් වාර්තා කළ ඔහුගේ වශීකරවන නායකත්වය ජාතික පාපන්දු කණ්ඩායම ලොව විශිෂ්ට තලයකට ගෙන ගියා.

පුහුණුකරුවෙකු ලෙසින් ඔහු Real Madrid සමඟ Champions League ශූරතා තුනක් සහ La Liga කිරුළු දෙකක් ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.

  1. Jimmy Greaves

වෙම්බ්ලි ක්‍රීඩාංගණයට එන ආධාරකරුවන් පිළිගැනීම සඳහා ශ්‍රේෂ්ඨ එංගලන්ත පාපන්දු ක්‍රීඩක Bobby Mooreගේ පිළිමයක් තනා තිබෙනවා. නමුත් Moore පවා Jimmy Greaves තරමට ඉංග්‍රීසි ක්‍රීඩාලෝලීන්ගේ එදිනෙදා ආදරයට ලක්වුනේ නැහැ.

එංගලන්තයේ පාපන්දු තරුවක් බවට පත්ව සිටි Greaves ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්වූයේ ඔහු බ්‍රසීලයේ ‘Garrincha Dog Catcher’ලෙස හැඳින්වීමකට ලක්වීමෙන් පසුව.

එංගලන්තය 1962 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිස සිටි අතර අවසන් කණ්ඩායම් අටේ ගැටුමේ ඔවුන්ගේ ප්‍රතිවාදියා වී සිටියේ එදා ලෝක කුසලානය රැක ගනිමින් සිටි බ්‍රසීලය.

කලින් පැවති මූලික වට තරගයක දී තුවාල ලබා සිටි පේලේ නැතිවත් බ්‍රසීලය අවසානයේ 3-1කින් තරගය ජය ගත්තා.

ඒ පරාජයේ වේදනාව තරමක් අඩු වූයේ පිටියට පිවිසි දඩාවතේ යන කළු බල්ලෙක් සමඟ ඇතිවූ සංවේදී සිදුවීමක් නිසාවෙන්.

තරගයේ පළමු භාගය අතරතුර පිටියට පිවිසි බල්ලා අල්ලා ගැනීම ට එංගලන්ත ගෝල  රකින්නා වන Ron Springett සහ බ්‍රසීලයේ winger ක්‍රීඩක Garrincha දැරූ උත්සාහය සාර්ථක වුනේ නැහැ.

මේ අවස්ථාවේ දී තත්ත්වය පාලනය කිරීම සියතට ගත්, කොහොමත් බල්ලන්ට ආදරය කරන Greaves, හතර ගාතෙන් බිම වැටී බල්ලාට කතා කළා. එයින් ඌ මහත් ප්‍රමෝදයට පත්වූ අතර Greaves බල්ලා වඩා ගෙන සුරතල් කරද්දී ඌ ඔහුගේ කමිසය පුරා මුත්‍රා කළා. ඒ දිනවල ක්‍රීඩකයෙක් කිසි විටෙකත් කමිසය මාරු නොකළේ ක්‍රීඩකයාට තිබුණේ එක ම කමිසය නිසා. එබැවින් ඒ කමිසය ම පැලඳ ගෙන ක්‍රීඩා කිරීම ට Greavesට සිදු වුනා.

ඒ බල්ලා පිළිබඳව 1962 තරගාවලියේ තරුව වූ Garrinchaට කොතරම් ඇල්මක් ඇති වූයේ ද යත් ඔහු ඌ ගෙදර ගෙන ගොස් රැක බලා ගත්තා. එතැන් පටන් බ්‍රසීලයේ දී Greaves හඳුන්වනු ලබන්නේ ‘Garrincha Dog Catcher’ ලෙසින්.

Greaves 1966 ලෝක කුසලාන පාපන්දු ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටිය ද, ප්‍රංශයේ Joseph Bonnel විසින් සිදු කරන ලද, මැහුම් 14ක් අවශ්‍ය වූ දරුණු තුවාලයක් හේතුවෙන් ඔහුට අවසාන තරගයට ක්‍රීඩා කිරීමට හැකි වුනේ නැහැ.

එංගලන්ත කමිසය පැලඳ Greaves පිට පිට ගෝල ත්‍රිත්වයන් (hat-tricks) හයක් ලබා ගෙන ඇති අතර ඒ වාර්තාව තවමත් නොමැකී පවතිනවා.

2009 වසරේ දී අගමැති Gordon Brown විසින් Greavesට ලෝක කුසලාන ජයග්‍රාහකයින්ගේ පදක්කමක් පිරිනමනු ලැබුවා.

  1. Ferenc Puskas

Puskas හංගේරියාවේ රත්තරං කණ්ඩායම වන Mighty Magyarsගේ නායකයාව සිටියා.

 ඔහු හංගේරියාව වෙනුවෙන් තරග 85ක දී ගෝල 84ක් ලබා ගත් අතර සිව්වතාවක් ස්පාඤ්ඤය නියෝජනය කළා. Puskas යටතේ හංගේරියාව කොතරම් බලවත්ව සිටියේ ද යත් 1954 ලෝක කුසලාන අවසාන තරගය ඒ මුළු දශකයේ ම ඔවුන් පැරදුණු එක ම තරගය වුනා.

ඔහු ක්‍රීඩා දිවියේ තරග 705ක දී ගෝල 702ක් වාර්තා කළා. යුරෝපීය පාපන්දුවේ යෝධයා වූ ඔහු 1956 හංගේරියානු විප්ලවයේ වාචික ආධාරකරුවෙකු වූ අතර සංචාරයක නියැලෙමින් සිටිය දී තම රට අතහැර ස්පාඤ්ඤයට ගියා. ඒ, කැරැල්ල මැඩ පවත්වද්දී සෝවියට් හමුදාව විසින් තම රටවැසියන් 2,500ක් මරා දැමීමෙන් පසුව.

කොමියුනිස්ට්වාදය බිඳ වැටීමෙන් පසුව යළි හංගේරියාව ට පැමිණි ඔහු 2006 වසරේ දී මිය ගිය ද, අදටත් හංගේරියානුවන්ගේ ගෞරවයට පාත්‍රව සිටිනවා.

  1. Lothar Matthaus

 ජර්මනිය වෙනුවෙන් වැඩි ම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ Matthaus ජාත්‍යන්තර තරග 150ක දී ගෝල 23ක් වාර්තා කර තිබෙනවා. අතිදක්ෂ මැදපෙළ ක්‍රීඩකයෙකු වන ඔහු 1990 ලෝක කුසලානය දිනා ගැනීම පිණිස තම කණ්ඩායමට උපකාරී වූ අතර ලෝක කුසලාන තරගාවලි පහකට ක්‍රීඩා කළා.

‘වසරේ FIFA ලෝක ක්‍රීඩකයා’ ලෙස නම් කෙරුණු එක ම ජර්මානුවා වන Matthaus වැඩි ම ලෝක කුසලාන පාපන්දු තරග වාර්තාව උසුලන්නේ තරග 25කට සහභාගි වෙමින්. ඔහුගේ සහජ නායකත්වය ඔහුට තරග බිමේ දී ප්‍රතාපවත් පෙනුමක් ලබා දුන් අතර ඔහුගේ උපායශීලී දැනුවත් වීම හා බැඳුණු තාක්ෂණික හැකියාව තරග බිමේ දී ඔහුට ලබා දුන්නේ නතර කළ නොහැකි ආධිපත්‍යයක්.

ඩියෙගෝ මැරඩෝනා විසින් Matthaus හඳුන්වනු ලැබුවේ තමන්ට මුහුණ දීමට සිදු වූ  වැඩියෙන් ම අමාරු ප්‍රතිවාදියා ලෙසින්.

  1. Miroslav Klose

 හොඳ පුද්ගලයෙකු වීම නිසා කෙනෙකුට ත්‍යාගයක් ලැබෙන්නේ කලාතුරකින් වූවත් ජර්මනියේ වාර්තාගත ගෝල ලාභියා වන, කරනම් ගහන Miroslav Klose සතුව එවැනි තෑගි අතළොස්සක් තිබෙනවා. සාධාරණ ක්‍රීඩාව සහ විනීත බව යන විශිෂ්ට සලකුණුවලින් යුත් තම ක්‍රීඩා දිවියේ දී ඔහු අන්තර් සමාජ තරගයක තමාට පිරිනැමුණු පැනල්ටියක්, පසුව ජනප්‍රියත්වයට පත්වූ අයුරින් ප්‍රතික්ෂේප කළේ, තරග විනිසුරු වරද්දා ගත් බව ඔහු දැන සිටි බැවින්. Klose ලෝක කුසලාන තරගාවලි හතරක ගෝල වාර්තා කළේ අවසානයේ 2014 දී කුසලානය හිමිකර ගනිමින්.

ශක්තිමත් සහ වේගවත් ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු වන ඔහු ජර්මන් කමිසයෙන් තරග 137ක දී ගෝල 71ක් ලබා ගත්තා. ඔහු ලෝක කුසලාන ගෝල 16ක් ලබා ගැනීමට ද සමත් වුනා. කිසිම කෙනෙක් මෙතෙක් ඊට වැඩියෙන් ගෝල ලබා ගෙන නැහැ. අතිශය ඵලදායි කෙනෙකු වූ ඔහු හොඳ මිනිහෙක්.

  1. Ronaldo

ප්‍රහාරක ක්‍රීඩකයෙකුගේ භූමිකාව මේ ආශ්චර්යමත් ක්‍රීඩකයා විසින් නැවත නිර්මාණය කරනු ලැබුවේ බ්‍රසීලය වෙනුවෙන් තරග 98කට ක්‍රීඩා කරමින් ගෝල 62ක් ලබා ගත් වකවානුවේ. ඔහු 1994 ලෝක කුසලානය හිමි කර ගත්තේ වයස අවුරුදු 17 දී.

 ඊට සිව් වසරකට පසුව, බ්‍රසීලය අවසාන තරගය කරා ගෙන යාමෙන් පසුව ඔහු තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණා. එහෙත් තරගය ආරම්භය ට පැය කිහිපයක් පමණක් තිබිය දී ඔහුට වලිප්පුව ලක්ෂණ කොට ඇති හදිසි රෝගී තත්ත්වයක් ඇති වුනා.

ඔහු 2002 ලෝක කුසලාන අවසාන තරගයේ දී දෙවතාවක් ගෝල ලබා ගනිමින් එම තරගාවලියේ කලින් තමා ලබා ගත් ගෝල හය ට තවත් ගෝල එක් කළේ නැවත වරක් කුසලානය දිනා ගනිමින්.

සිව්වැනි වතාවටත් ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කළ රොනල්ඩො ඒ කාලයේ තිබූ වාර්තාවක් බිඳ හෙළමින් 15 වැනි ලෝක කුසලාන ගෝලයක් ලබා ගැනීමට සමත් වුනා.

එහෙත් ලෝකය අමන්දානන්දයට පත් කළේ ඔහුගේ ක්‍රීඩාවේ ඉක්මන, පාලනය, ප්‍රායෝගික බුද්ධිය, පන්දුව පිළිබඳ පරිපූර්ණ දැනීම, වේගයෙන් දිවීම, ජිම්නාස්ටික් කලාවේ මෙන් ක්ෂණික චලනය හා ප්‍රයෝගයෙන් ආරක්ෂක ක්‍රීඩකයන් පසුකර යාම සහ ගෝල ලබා ගැනීම ඔහු විසින් සිදු කළ ආකාරය යි.

  1. Franz Beckenbauer

ලෝක කුසලාන පාපන්දු වීරයින් පිළිබඳ කිසිම ග්‍රන්ථයක් Franz Beckenbauer අත හැර සම්පාදනය කරන්න බැහැ. ඔහු, Didier Deschamps හා Mario Zagallo සමඟ ක්‍රීඩකයෙක් සහ කළමනාකරුවෙක් යන චරිත දෙකෙන් ම ලෝක පාපන්දු කුසලානය හිමි කර ගත් ලොව සිටින පුද්ගලයන් තිදෙනාගෙන් කෙනෙක්. ආරක්ෂක ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා කරමින් සිටිය දී පවා Beckenbauer බටහිර ජර්මනිය වෙනුවෙන් ක්‍රීඩා කළ තරග 103 දී ගෝල 14ක් ලබා ගත්තේ 1974 වසරේ ජයග්‍රාහී කණ්ඩායමට නායකත්වය ද ලබා දෙමින්.

 එංගලන්තයට පරාජය වූ 1966 ලෝක කුසලාන අවසාන තරගය ට ක්‍රීඩා කිරීමෙන් සිව් වසරකට පසුව ඔහු පරාජයේ පලිය ගත්තේ එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසි කර බටහිර ජර්මනිය අවසන් පූර්ව තරගය ට ගෙන යාම පිණිස ගෝලයක් ලබා ගනිමින්.

එහෙත් ලෝක කුසලාන තරගාවලි තුනකට ක්‍රීඩා කිරීමෙන් ඔහු සෑහීමකට පත්වුනේ නැහැ. ජර්මනිය යළි එකතු වීම හා නව යුගයක් කරා පියමං කරද්දී, Beckenbauer කළමනාකරු ලෙසින් ජාතික කණ්ඩායම 1990 ලෝක කුසලාන ජයග්‍රහණය කරා මෙහෙයවූවා. පසු වසරවල දී ඔහු 2006 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ජර්මනියට ලබා ගැනීමේ සාර්ථක මෙහෙයුමට නායකත්වය දුන්නා. දූෂණ චෝදනා මත මේ මෙහෙයුම පසු කාලයේ දී ජගත් පාපන්දු සම්මේලනයේ පරීක්ෂණයට ලක්වුනා.

  1. Johan Cruyff

තෙවතාවක් Ballon d’Or ජයග්‍රාහකයෙකු වූ, පූර්ණ පාපන්දු ක්ෂේත්‍රයේ ක්‍රීඩා දර්ශන විද්‍යාවේ වඩාත් ම බලසම්පන්න චරිතයක් වන Cruyff පාපන්දු ක්‍රීඩාවට උගත් බවේ නව මට්ටමක් ගෙන ආවා.

පාපන්දුව Cruyffට ක්‍රීඩාවක් පමණක් වුනේ නැහැ. ඔහු එය සැලකුවේ මනස, ශරීරය සහ කලාව මිශ්‍ර වූ සරලතාව හා සුන්දරත්වයේ ව්‍යායාමක් ලෙසින්.

ක්‍රීඩකයින්ගේ පිටියේ ස්ථානවල ජ්‍යාමිතිය පිළිබඳව හසල දැනුමක් තිබුණු නිර්මාණශීලී ක්‍රීඩකයෙකු වූ ඔහු වාද්‍ය වෘන්දයක් මෙහෙයවන්නෙකු ලෙසින් සිය කණ්ඩායම මෙහෙයවූවා. ඔහු ගෝල ලබා ගත් කිසි ම තරගයක් නෙදර්ලන්තය පරාජය වුනේ නැහැ. ජාත්‍යන්තර තරග 48කින් ගෝල 33ක් වශයෙන් ඔහු ගෝල විශාල ප්‍රමාණයක් ලබා ගත්තා.

Cruyff ආජන්ටිනාවට එරෙහිව දෙවතාවක් ගෝල ලබා ගනිමින් සහ එකල ශූරයන්ව සිටි බ්‍රසීලය තරගාවලියෙන් ඉවතට විසි කරමින් නෙදර්ලන්තය 1974 ලෝක කුසලාන අවසාන තරගය කරා ගෙන ගියා.

  1. Diego Maradona

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මේ ‘රත්තරං කොල්ලා’ පාපන්දු ඉතිහාසයේ එක් ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙසින් බොහෝ දෙනා සලකනවා. එංගලන්ත ක්‍රීඩකයින් පස් දෙනෙක් පසු කරමින් 1986 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ ඔහු ප්‍රදර්ශනය කළ පන්දුව හසුරුවීම අවසන් වූ‌යේ ‘ශතකයේ ගෝලය’ වාර්තා වෙමින්. මේ තරගයේ දී  ‘දේව හස්තය’ නමින් ප්‍රචලිත වූ පාපන්දු ක්‍රීඩාවේ වඩාත් ම ජනප්‍රිය දඬුවම් නොලැබූ අතින් පන්දුව ගෝල කණුව වෙත එල්ල කිරීමේ ක්‍රියාව සිදු වූයේ ද මැරඩෝනාගෙන්.

 වයස අවුරුදු 16 දී ප්‍රථම වතාවට මැරඩෝනා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් වසර දහයකට පසුව ආජන්ටිනාව 1986 ලෝක කුසලානය දිනා ගත්තා. ඔහු රට වෙනුවෙන් තරග 91කට සහභාගි වෙමින් ගෝල 34ක් ලබා ගත්තා. එහෙත් පිටියෙන් පිටත ඔහුගේ ජීවිතය කඩා වැටෙමින් 1991 දී කොකේන් ළඟ තබා ගැනීමේ වරදට සිරභාරයට නොගත්තේ නම් මැරඩෝනා මීට වඩා කීර්තියෙන් බැබළීමට තිබූ ඉඩ කඩ කොතරම් ද කියා කිසිවෙකුටත් හිතා ගන්න බැහැ.

ඔහු ලෝක කුසලාන තරගාවලි හතරකට ක්‍රීඩා කළ ද තහනම් ශරීර උත්තේජන භාවිතා කළ බවට ඔප්පු වීම නිසා ඔහුට 1994 තරගාවලිය අවසන් කිරීමට හැකි වුනේ නැහැ.

මැරඩෝනාගේ ක්‍රීඩා ජීවිතයේ අවසන් නළා හඬ නිකුත් වීමෙන් පසුව ඔහු ඉරාකයේ පවතින යුද්ධයට එරෙහිව විරෝධය පළ කරමින්, ධනය බෙදා හැරීම සම්බන්ධයෙන් පාප් වහන්සේ සමඟ තර්ක කරමින් සහ ගාසා තීරයට ඊශ්‍රායලය බෝම්බ දැමීම හෙළා දකිමින් නොයෙකුත් වාමාංශික ප්‍රතිපත්තිවලට සහාය පළ කළා.

මැරඩෝනා Che Guevara සහ Fidel Castroගේ පච්ච කොටා ගෙන සිටි අතර 2007 Copa America ඉසව්වේ දී Hugo Chavezගේ විශේෂ ආරාධිතයා වුනා.

වයස අවුරුදු 60 දී හෘදයාබාධයකින් ඔහු මිය යාමෙන් පසුව ආජන්ටිනාවේ දී මැරඩෝනාගේ ජනප්‍රියත්වයේ තරම කොතරම් ද යත්, ජාතික ධජයෙන් ලිහිල්ව ඔතා පාපන්දු ජර්සිවලින් මැනවින් සරසන ලදුව ජනාධිපති මන්දිරයේ තබා තිබූ ඔහුගේ මිනීපෙට්ටිය ට ගෞරව දැක්වීම පිණිස දස දහස් ගණන් ජනයා වැල‌ නොකැඩී පැමිණියේ රොද බැඳගෙන.

1.Pele

බ්‍රසීලයේ පේලේට වඩා සාර්ථක වෙනත් පාපන්දු ක්‍රීඩකයෙක් සිටිනවා ද?

වේල්ස් රටේ පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියක සිහිනය දශක හතකට අවසන් කරමින් 1958 වසරේ පේලේ ඔහුගේ ප්‍රථම ලෝක කුසලාන ගෝලය ලබා ගත් මොහොතේ ඔහු කොතරම් ප්‍රමාණයක විශාල යෝධයෙක් බවට පත්වනු ඇත් ද කියා කිසිවෙකුටත් දැනුමක් තිබුණා ද?

 දකුණු පාදයෙන් හෝ වම් පාදයෙන් මැජික් පෙන්වමින් පරම්පරා ගණනාවක් ප්‍රබෝධයට පත් කිරීමට පේලේට හැකියාව තිබුණා. තරග බිමෙන් පිටත දී, පළමු සැබෑ ගෝලීය කළු ක්‍රීඩා සුපිරි තරුව ලෙසින් දුප්පතුන්‌ගේ ජීවිත නගා සිටුවීම සඳහා කෙළින් කතා කරමින් ඔහු ලබා දුන් සහයෝගය පේලේ ජාතික වීරයෙක් බවට පත් කළා.

පේලේ ලෝක පාපන්දු කුසලානය තෙවතාවක් එනම් 1958, 1962 සහ 1970 වසරවල දී දිනා ගත්තා. තරග 92කින් ගෝල 77ක් ලබා ගනිමින් ඔහු තවමත් බ්‍රසීලයේ වැඩි ම ගෝල ලාභියා ලෙස සිටිනවා. ලේගෝස් නුවර පැවති ප්‍රදර්ශන තරගයක පේලේ ක්‍රීඩා කරනු නැරඹීම පිණිස, 1969 වසරේ නයිජීරියාවේ පැවති අතිශයින් දරුණු සිවිල් යුද්ධයේ පාර්ශව දෙක ම සටන් විරාමයකට එකඟ වීමෙන් පේලේ ලෝකය පුරා කොතරම් ජනප්‍රිය ද, කොතරම් ආදරයට ලක්ව සිටිනවා ද කියා මනාව පෙනී යනවා.

ඉතාමත් ඵලදායී ගෝල ලබා ගන්නෙකු වන පේලේට ප්‍රායෝගික බුද්ධිය හා සහජ හැකියාව සමඟ පිටියේ ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමට පුළුවන්. කිසිවිටෙකත් ආත්මාර්ථකාමී නොවූ ඔහු වටිනා ප්‍රතිඵල ලබා ගැනීම පිණිස කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් සමඟ සම්බන්ධ වුනා. පිටිය තුළ සහ ඉන් පිටත පේලේගේ ප්‍රභාසම්පන්න නායකත්වය Nelson Mandela හා Henry Kissinger වැනි ස්වභාවයෙන් ගුණයෙන් වෙනස් පුද්ගලයන් වර්ණනා කෙරෙන උරුමයක් කරා ඔහුව ගෙන ගියා.

පේලේ නමැති පුද්ගලයා ඉන්නවා. පේලේ නමැති ක්‍රීඩකයාත් ඉන්නවා” යැයි ප්‍රංශයේ Michel Platini ප්‍රකාශ කළා. “නමුත් පේලේ වගේ ක්‍රීඩා කිරීම යනු දෙවියන් වගේ ක්‍රීඩා කිරීම යි!”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<