Fairfirst රක්ෂණ සමාගමට ක්‍රිකට් ශූරතාවයක්

වෙළඳසේවා ක්‍රිකට් B කාණ්ඩයේ තරගාවලිය 2022

265

වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය සහ NDB බැංකුවේ අනුග්‍රාහකත්වය ඇතිව සංවිධානය කරනු ලැබූ B කාණ්ඩයේ අවසන් මහා තරගය ඊයේ (30) වෙළඳසේවා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

එහි දී මැලිබන් බිස්කට් පුද්ගලික සමාගම කඩුලු 2කින් පරාජය කළ Fairfirst රක්ෂණ කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් මැලිබන් බිස්කට් කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස පිටියට අවතීර්ණ වුනු මොහොමඩ් ෂිල්මි පන්දු 126ක් තුල අගනා ලකුණු 107ක් ලබාගෙන මේ අවසන් මහා තරගය වර්ණවත් කළා. ඔහුගේ එම මනරම් ඉනිමට හතරේ පහර 8ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

මැලිබන් කණ්ඩායමේ සෙසු පිතිකරුවන් අසාර්ථක වන විට පස්වැනි කඩුල්ලට ෂිල්මි සහ අංජුල පෙරේරා (ලකුණු 38) ලකුණු 80ක අගනා සබඳතාවයක් ගොඩනැංවූවා. Fairfirst වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අනුක් ප්‍රනාන්දු සහ කොෂාන් ජයවික්‍රම කඩුලු 3 බැගින් දවා ගන්නා විට, මැලිබන් කණ්ඩායම පන්දුවාර 49.2ක දී සියලුම දෙනා දැවී ලකුණු 229ක් ලබා ගැනීමට සමත් වුනා.

ලකුණු 230ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු Fairfirst කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 136ක් තුල දවා ගැනීමට නිශාන් පෙරේරා ඇතුළු මැලිබන් කණ්ඩායමේ ක්‍රීඩකයින් සමත් වුනා.

සිය කණ්ඩායම අසීරු අවස්ථාවක සිටි මොහොතක පිටියේ එක්වූ අනුක් ප්‍රනාන්දු සහ කොෂාන් ජයවික්‍රම විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් නැවතත් තරගයේ වාසිය Fairfirst කණ්ඩායම වෙත හරවා ගැනීමට සමත් වුනා.

එහි දී වේගවත් පිතිහරඹයක නිරත වූ කොෂාන් ජයවික්‍රම 6 පහර 4ක් සහ එක් 4 පහරක් සමඟින් පන්දු 36ක් තුල ලකුණු 50ක් ලබා ගත්තා. තරගයේ අවසානය දක්වා එක් අන්තයක් රැකගෙන දක්ෂ ලෙස පන්දුවට පහර දුන් අනුක් ප්‍රනාන්දු සහ කොශාන් එක්ව හත්වැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවයක් ගොඩනැංවූවා.

නොදැවී ලකුණු 74*ක් ලබා ගත් අනුක්ගේ ඉනිම 4 පහර 8කින් සහ එක් 6 පහරකින් අලංකාරවත් වුනා. අවසානයේ දී පන්දුවාර 48කුත් පන්දු 3ක් අවසානයේ දී කඩුලු 8ක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට Fairfirst සමත් වුනු අතර පන්දු යැවීමේ දී නිශාන් පෙරේරා විසින් කඩුලු 2ක් දවා ගත්තා.

  • මැලිබන් – 229 (49.2): මොහොමඩ්  ෂිල්මි 107, අංජුල පෙරේරා 38, කොෂාන් ජයවික්‍රම 3/35, අනුක් ප්‍රනාන්දු 3/53, දුලිප් සිල්වා 2/28.
  • Fairfirst 234/8 (48.3): අනුක් ප්‍රනාන්දු 74*, කොෂාන් ජයවික්‍රම 50, ලක්ෂාන් පෙරේරා 32, නිශාන් පෙරේරා 2/47.

Fairfirst රක්ෂණ කණ්ඩායමට කඩුලු දෙකක තියනු ජයක්

  • තරගයේ වීරයා සහ හොඳම පිතිකරු – අනුක් ප්‍රනාන්දු
  • හොඳම පන්දු යවන්නා – නිමේෂ් බටගේ
  • තරගාවලියේ වීරයා – තරිඳු සිරිවර්ධන

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<