Home Sinhala රාජකීයයන් නොකඩවා දෙවැනි වරටත් එක්දින ශූරතාවය දිනා ගනී

රාජකීයයන් නොකඩවා දෙවැනි වරටත් එක්දින ශූරතාවය දිනා ගනී

රාජකීය - සාන්ත තෝමස් 45 වැනි එක්දින මහා තරගය

318

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර අද (30) කොළඹ SSC පිටියේ දී පැවති 45 වැනි එක්දින මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක දැවැන්ත ජයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් වුනා.

ඒ අනුව 2019 වසරේ දී රාජකීය විද්‍යාලය විසින් දිනා ගත් Mustangs කුසලානය තවදුරටත් ඔවුන් සතුව රඳවා ගැනීමට හැකියාව ලැබුණා.

වසර 3කට පසුව පැවති මේ එක්දින මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් නායක රයන් ප්‍රනාන්දු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 190ක් ලබා ගත්තා.

මීට දින කිහිපයකට පෙර ජය පරාජයෙන් තොරව අවසන් වුනු 143 වැනි නිල් මහා සටනට සහභාගී වුනු කණ්ඩායමේ වෙනස්කම් තුන බැගින් සිදු කරමින් මේ කණ්ඩායම් දෙක එක්දින මහා තරගයට අවතීර්ණ වී සිටීම කැපී පෙනුණා.

සාන්ත තෝමස් ඉනිම ආරම්භ කරමින් පැමිණි ටිශේන් ඇහැලියගොඩ සහ අනීෂ් කමලචන්ද්‍ර යන ආරම්භක පිතිකරුවන් සාන්ත තෝමස් ලකුණු සටහන 27ක් වන විට දවා ගැනීමට රාජකීය ක්‍රීඩකයින් සමත් වුනා.

සාන්ත තෝමස් මුල්පෙළ පිතිකරුවන් හට පළමු පන්දුවාර 30 තුල ඉතාමත් හොඳ පීඩනයක් එල්ල කිරීමට රාජකීය පන්දු යවන්නන් සමත් වුනු අතර පළමු පන්දුවාර 27 අවසානයේ දී කඩුලු 5ක් දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 76ක් පමණයි. නායක රයන් ප්‍රනාන්දු ලකුණු 30යි.

අනතුරුව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු මහිත් පෙරේරා සහ මුයිස් නවුශාන් පන්දු 109ක් තුල ලකුණු 80ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් යම් අභියෝගයක් ලබා දිය හැකි ලකුණු සටහනක් වෙත සිය කණ්ඩායම රැගෙන ඒමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා.

බිඳවැටුණු සාන්ත තෝමස් ලකුණු සටහනට යම් ජීවයක් එක්‌ කළ මුයිස් සහ මහිත් දෙදෙනාම අර්ධ ශතක ලබා ගත් අතර මුයිස් පන්දු 83ක දී ලකුණු 50ක් ලබාගෙන සිටිය දී දවා ගැනීමට බාලසූරිය සමත් වුනා.

නොදැවී ක්‍රීඩා කරමින් සටන්කාමී ලෙස කඩුල්ලේ රැඳී සිටි මහිත් ලකුණු 52*ක් ලබාගෙන සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තා.

පන්දු යැවීමේ දී පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනු දකුණතින් පිට දඟපන්දු යවන දමිත් කප්පාගොඩ ලකුණු 19කට කඩුලු 2ක් දවා ගන්නා විට නායක ගිශාන් බාලසූරිය සහ වෙනුෂ ආකාශ් ද කඩුලු 2ක් දවා ගත්තා. බුලාන් වීරතුංග එක් කඩුල්ලයි.

ලකුණු 191ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි රාජකීය ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාවය බිඳ දැමීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට අවස්ථා කිහිපයක් උදා වූ නමුත් එම උඩපන්දු අවස්ථා සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

ඉන් හැකි උපරිම ඵල නෙලා ගත් සිනෙත් ජයවර්ධන සහ ඔවින අඹන්පොළ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූවා. තරමක වේගවත් පිතිකරණයක නිරත වුනු ජයවර්ධන 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමින් පන්දු 50ක දී ලකුණු 39ක් ලබා ගත්තා. අඹන්පොළ ලකුණු 35යි.

එම ආරම්භය සාර්ථක අඩිතාලමක් බවට පත් කර ගත් රාජකීය මුල්පෙළ පිතිකරුවන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සහ තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 66*ක සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායම පහසු ජයක් වෙත රැගෙන ගියා.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක සදීෂ රාජපක්ෂ 4 පහර 4ක් එල්ල කරමින් නොදැවී ලකුණු 69*ක් ලබාගෙන සාර්ථක වන විට, ඔහුට අනගි සහයක් ලබා දුන් තෙදින මහා තරගයේ අර්ධ ශතක ලාභී උවිඳු වීරසේකර ද නොදැවී ලකුණු 35*ක් ලබා ගත්තා.

අවසානයේ දී රාජකීයයන් පන්දුවාර 42කුත් පන්දු 3ක් අවසානයේ දී කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියා. පන්දු යැවීමේ දී රයන් ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව කණ්ඩායම් දෙක අතර මේ දක්වා පවත්වා තිබෙන එක්දින මහා තරග 45න් 22-21ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය විද්‍යාලය සමත් වුනු අතර තවත් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වන විට තවත් තරගයක් සම ශූරතාවය ලබා දෙමින් අවසන් වී තිබෙනවා.

Result


Royal College
191/2 (42.3)

S. Thomas’ College
190/8 (50)

Batsmen R B 4s 6s SR
Thishen Ehaliyagoda run out (Ramiru Perera) 13 35 1 0 37.14
ANEESH KAMALCHANDRA lbw b Bulan Weerathunga 0 10 0 0 0.00
Dineth Gunawardena c & b Sadisha Rajapaksha 16 37 1 0 43.24
Ryan Fernando c Sineth Jayawardena b Damith Kappagoda 30 37 1 0 81.08
MUIZZ NAUSHAN b Gishan Balasuriya 50 83 2 0 60.24
Charuka Peiris st Nethil Panapitiya b Damith Kappagoda 5 16 0 0 31.25
Mahith Perera not out 52 70 1 0 74.29
Caniston Gunathan run out (Bulan Weerathunga) 3 5 0 0 60.00
Senesh Hettiarachchi b Sadisha Rajapaksha 9 6 1 0 150.00
Kavindu Dais not out 1 1 0 0 100.00


Extras 11 (b 3 , lb 0 , nb 0, w 8, pen 0)
Total 190/8 (50 Overs, RR: 3.8)
Bowling O M R W Econ
Bulan Weerathunga 8 1 28 1 3.50
Venusha Akash 5 1 15 0 3.00
Sadisha Rajapaksha 10 0 45 2 4.50
Dasis Manchanayake 10 0 45 0 4.50
Gishan Balasuriya 10 1 34 1 3.40
Damith Kappagoda 7 1 19 2 2.71


Batsmen R B 4s 6s SR
OVINA AMBANPOLA run out (Charuka Peiris) 35 85 2 0 41.18
Sineth Jayawardena c Senesh Hettiarachchi b RAYAN FERNANDO 39 50 4 1 78.00
Sadisha Rajapaksha not out 69 76 4 0 90.79
Uvindu Weerasekara not out 35 44 4 0 79.55


Extras 13 (b 0 , lb 0 , nb 0, w 13, pen 0)
Total 191/2 (42.3 Overs, RR: 4.49)
Bowling O M R W Econ
Charuka Peiris 7.3 0 32 0 4.38
Caniston Gunathan 9 1 31 0 3.44
Dineth Gunawardena 5 1 21 0 4.20
Kavindu Dais 7 0 45 0 6.43
RAYAN FERNANDO 8 0 30 1 3.75
Dhiren De SIlva 4 0 24 0 6.00
Mahith Perera 2 0 8 0 4.00



සාන්ත තෝමස් කණ්ඩායමේ පන්දු රැකීම තරගය පුරාවට ඉතාමත් දුර්වල මට්ටමක තිබුණු අතර එසේ නොවන්නට ඔවුන්ට යම් වැඩි අභියෝගයක් සිය ප්‍රතිවාදීන්ට ලබා දීමට පැහැදිලි අවස්ථාවක් තිබුණා.

  • රාජකීය විද්‍යාලයේ හොඳම පිතිකරුවා – සිනෙත් ජයවර්ධන
  • සාන්ත තෝමස් විද්‍යාලයේ හොඳම පිතිකරුවා – මහිත් පෙරේරා
  • රාජකීය විද්‍යාලයේ හොඳම පන්දු යවන්නා – දමිත් කප්පාගොඩ
  • සාන්ත තෝමස් විද්‍යාලයේ හොඳම පන්දු යවන්නා – රයන් ප්‍රනාන්දු
  • හොඳම නවක ක්‍රීඩකයා – මුයිස් නවුශාන් (සාන්ත තෝමස් විද්‍යාලය)
  • තරගයේ වීරයා – සදීෂ රාජපක්ෂ (රාජකීය විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<