13 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට 19 වැනි ස්ථානය හිමිවෙද්දී ආබාධිත ක්‍රීඩකයකුත් අතුරුදන්

151

13 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ අවසන් දිනයේදී (24දා) ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කම් 03ක් ලබා දෙන්නට මලල ක්‍රීඩකයෝ සමත් වූහ.

මීටර් 400 (ඊ 44) තරගයෙන් ශ්‍රී ලංකාවේ ලයනල් ධර්මසිරි ද මීටර් 400 (ඊ 47) තරගයේ ප්‍රදීප් සංජයද ජ් 44 කාණ්ඩයේ පිරිමි කවපෙත්ත විසිකිරීම තරගයෙන් එස්. සංඛ කුමාරද ලෝකඩ පදක්කම් දිනා දුන්නේය.

ලයනල් තම ඉසව්ව තත් 59.51 කින්ද, ප්‍රදීප් තත් 50.58 කින්ද, නිම කළ අතර සංඛ සිය ඉසව්වේදී මීටර් 36.43ක් දුර කවපෙත්ත විසි කරමින් තෙවැනි ස්ථානය ලැබූ අතර එම ඉසව්වේ සිව්වැනි ස්ථානයද ශ්‍රී ලංකාවේ එච්.ඒ. චමින්ද සම්පත් (මීටර් 34.63) දිනා ගත්තේය.

ඊයේ ලැබූ ලෝකඩ පදක්කම් 03ද සමඟින් තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගිය අතර සමස්ත තරගාවලියේදී ශ්‍රී ලංකාවට 19 වැනි ස්ථානය හිමිවිය. මෙවර දිනාගත් පදක්කම් 14 ශ්‍රී ලංකා ආබාධ සහිත වූ ක්‍රීඩා කණ්ඩායමක් විදෙස් තරගාවලියකදී දිනාගත් ඉහළම පදක්කම් සංඛ්‍යාවයි.

මේ අතර මෙවර පැරා ක්‍රීඩා උළෙලට එක්වූ ශ්‍රී ලංකා මලල කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මලල ක්‍රීඩක ගම්මානයෙන් අතුරුදන් වී ඇතැයි කණ්ඩායම් භාර නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය. මේ අතුරුදන්වීම පිළිබඳ පොලිසියටද පැමිණිලි කළ බව සඳහන් විය. සමස්ත තරගාවලියේ ජය රන් පදක්කම් 174ක්, රිදී 95ක්, ලෝකඩ 48ක් දිනූ චීනයට හිමි වූ අතර, සත්කාරක කොරියාව රන් 72, රිදී 62, ලෝකඩ 77ක් දිනා දෙවැනි තැනට පත්විය. ජපානය රන් 38, රිදී 49ක් හා ලෝකඩ 56ක් ලබා තෙවැනි ස්ථානය දිනා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26දා) උදෑසන ‘මව්බිම’ට පැමිණීමට නියමිතව තිබිණි.