සීක්කුගේ යුද හමුදාව අවසන් මහා තරගයට ගෙන යයි

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2022

910

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Sri Lanka Army SC ක්‍රීඩකයෝ අද (30) සමත් වුනා.

Army සහ Ace Capital CC අතර කොළඹ 7, NCC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් Army කණ්ඩායම ලකුණු 123ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනා ගත් යුද හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 246ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Ace Capital ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 123ක් පමණයි.

මෙම තරගයේ දී තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට සීක්කුගේ ප්‍රසන්න සමත් වුනා. ඔහු පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ඔහුගේ දක්ෂතාව ලකුණු 26කට කඩුලු 4ක් දවා ගැනීම.

සීක්කුගේ ප්‍රසන්නට අමතර ව යුද හමුදාව වෙනුවෙන් මහේෂ් කුමාර පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා. මහේෂ් කුමාර සහ සුමින්ද ලක්ෂාන් එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් එක් කළ අතර එය යුද හමුදා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව බවට ද පත් වුනා.

සුමින්ද ලක්ෂාන් පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී  ලසිත් කෘෘස්පුල්ලේ, චානක දේවින්ද, ප්‍රමුද් හෙට්ටිවත්ත සහ තනුක දාබරේ කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඕෂද ප්‍රනාන්දු. ඔහු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී සීක්කුගේ ප්‍රසන්නට අමතර ව සුමින්ද ලක්ෂාන් ද ලකුණු 42කට කඩුලු 4ක් දවා ගත්තා.

  • Sri Lanka Army – සියලුම දෙනා දැවී 246 (48.2) සීක්කුගේ ප්‍රසන්න 89, සුමින්ද ලක්ෂාන් 33, මහේෂ් කුමාර 46, ලසිත් කෘaස්පුල්ලේ 2/32, චානක දේවින්ද 2/47, ප්‍රමුද් හෙට්ටිවත්ත 2/26, තනුක දාබරේ 2/52
  • Ace Capital – සියලුම දෙනා දැවී 123 (27.4) ලසිත් කෘෘස්පුල්ලේ 23, ඔෂඳ ප්‍රනාන්දු 31, සකුණ ලියනගේ 19, සීක්කුගේ ප්‍රසන්න 4/26, සුමින්ද ලක්ෂාන් 4/42

මේ අතර අද හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ Tamil Union  සහ CCC කණ්ඩායම් අතර අවසන් පූර්ව තරගය හෙටට (31) කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළා. ඒ ක්‍රීඩාංගණයේ තණතීරුවේ පැවති අයහපත් තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

තරගය නියමිත වේලාවට ආරම්භ වූයේ කාසියේ වාසිය දිනා ගත් CCC නායකයාගේ ආරාධනාව අනුව Tamil Union ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින්.

නමුත් තරගය පැවතියේ පන්දුවාර 6.3ක් පමණයි. ඒ වෙද්දී විනාඩි 34ක කාලයක් පමණක් වැය ව තිබූ අතර පන්දුවට පහර දෙමින් සිටි Tamil Union ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී ලකුණු 38ක් ලෙස කියැවුණා.

තණතිරුවේ පතිත වන පන්දුව අසාමාන්‍ය ලෙස ඉපිලීම සහ දිශාවන් වෙනස් වීම හේතුවෙන් පිටියේ විනිසුරුවන් වූ ප්‍රදීප් රඹුක්වැල්ල සහ දීපාල් ගුණවර්ධන මහත්වරුන් අවස්ථා කිහිපයක දී ම එය නිරීක්ෂණය කරමින් තරගය වරින් වර නතර කළා. ඒ වෙද්දී පිටියේ රැඳී සිටි සදීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා ද මේ බැව් විනිසුරුවන්ට පැමිණිලි කළා.

කෙසේ වෙතත් කණ්ඩායම් දෙකේ නායකයන්, පිටියේ විනිසුරුවන් සහ තරග තීරක ප්‍රියන්ත උදයරත්න මහතා ද එක් ව මේ බැව් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව තරගය නතර කරනු ලැබුවා. ඒ අනුව අද නතර කරනු ලැබූ තරගය හෙට (31) කොළඹ 7, SSC පිටියේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එතෙක් පැවති තරගයේ දී දිල්රුවන් පෙරේරා ලකුණු 14කට ද, රොන් චන්ද්‍රගුප්ත ලකුණු 5කට ද දැවී ගිය අතර තරගය නතර කරන විට සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 2ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 7ක් ලබා සිටියා. දැවී ගිය කඩුලු 2 හිමිකාරිත්වය නුවන් තුෂාර සහ අසිත ප්‍රනාන්දු සතු වුනා.

තරගාවලියේ උණුසුම විඳගන්න, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<