ආසියා කුසලානය ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

ආසියා කුසලානය 2022

661

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත “2022 ආසියා ක්‍රිකට් කුසලානය” එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන යාමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් සත්කාර අයිතිය ශ්‍රී ලංකාව සතුවනවා.

ශ්‍රී ලංකාව තුල උද්ගත වී ඇති ආර්ථිකමය අර්බුදකාරී වතාවරණය මෙම තීරණයට හේතු වී තිබෙනවා. ඒ අනුව තරගාවලිය අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

“සෑම උත්සාහක්ම ගත්තා ශ්‍රී ලංකාවේ දී ආසියානු කුසලානය සංවිධානය කරන්න, ඒ වගේම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන ගිය එක සාකච්ඡා කිරීම් ගණනාවකට පසුව ගත්ත අසීරු තීරණයක්,” ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති Jay Shah බදාදා (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා. “එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරගාවලිය පවත්වන අලුත් ස්ථානය වනු ඇති අතර ශ්‍රී ලංකාවට සත්කාරක අයිතිවාසිකම් දිගටම රඳවා තබා ගැනීමට හැකි.”

“ආසියානු කුසලානයේ මෙවර අදියර අතිශයින්ම වැදගත් එකක් වන්නේ, ආසියාතික රටවල් සඳහා ICC ලෝක කුසලානය සඳහා සූදානම් වීමට මෙම තරගාවලිය උපකාර වන නිසායි. ඒ වගේම වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එක්සත් අරාබි ක්‍රිකට් මණ්ඩලයට ඔවුන්ගේ අවබෝධය සහ ලබා දෙන සහයෝගය වෙනුවෙන්.”

එමෙන්ම ACC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, “ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ගේ උද්යෝගිමත් බව ගැන කවුන්සිලය සැලකිලිමත් වන අතර, ඒ නිසා තරගාවලිය පවත්වන අවසන් ස්ථානයක් තෝරා ගැනීම දැඩි අසීරු කරුණක් බවටත් පත්වුනා. නමුත් එය එසේ කිරීම අත්‍යාවශ්‍යය ම වුනා. කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයන්ගේ සහයෝගීත්වය නොවෙනස්ම පවතිනවා.”

අවසන් වරට 2018 පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 9ක සහභාගීත්වයෙන් විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුව සහ හොංකොං කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමේ වටය හරහා ද, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය සෘජුවම ද තරගාවලිය සඳහා සහභාගී වනවා.

කෙසේ නමුත් පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවත් ශ්‍රී ලංකාව මේ වන විට පාකිස්තාන ටෙස්ට් තරගාවලියක් සාර්ථකව පවත්වමින් සිටින අතර ඔවුන් සම්පූර්ණ ආකෘති 3 තරගවලින් සමන්විත ඕස්ට්‍රේලියානු තරග සංචාරයක් ද සාර්ථකව පවත්වා අවසන් කරන්නට සමත් වුනා.

කෙසේ නමුත් කණ්ඩායම් 9ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියා කුසලානය ශ්‍රී ලංකාවට තරමක් අසීරු අභියෝගයක්. කෙසේ නමුත් මෑත වකවානුවේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය බොහෝ රටවල් තරගාවලි පවත්වන්නට යොදා ගන්නා අතර 2021 වසරේ දී ඉන්දියාවේ සත්කාරකත්වය සහිතව පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයට පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<