හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ගුවන් හමුදාවට ප්‍රබල ආක්‍රමණයක්!

403
Dialog Rugby League 2017/18 2nd leg week 1 Air Force SC v Havelock SC Match Report

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ ආරම්භක තරගය ලෙස රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී අද (29) පැවති තරගයෙන්, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් ලකුණු 18-34ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

CR & FC ක්‍රීඩකයින් යුධ හමුදාවෙන් වාඩුව ගනී

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් අද (29) කොළඹ හැව්ලොක් …

තරගාවලියේ දෙවැනි අදියරට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය.

ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජයට තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට ගත වූයේ මිනිත්තු 4ක් වැනි ඉතාමත් සුළු කාලයකි. ඒ දුලාජ් පෙරේරා විසින් සිය කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමත් සමඟයි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමට එය ලබාගත් රීසා මුබාරක් සමත් විය (ASC 00 – 07 HSC).

ඉන් අනතුරුව ද සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය ඒ අයුරින්ම දියත් කළ හැව්ලොක් ක්‍රීඩකයින් තරගයේ 12 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම ද වාර්තා කර ගන්නට සමත් විය. එවර සුදම් සූරියආරච්චි විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර නැවතත් එය රීසා විසින් සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නා ලදි (ASC 00 – 14 HSC).

පසුව අවස්ථාවන් කිහිපයක දී ම හැව්ලොක් ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ඉතා ආසන්නයට ගියත්, එහි දී අවසන් මොහොතේ දී ඔවුන් අතින් සිදු වූ අත්වැරදීම් සහ ගුවන් හමුදා ක්‍රීඩකයින්ගේ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය හේතුවෙන් එම අවස්ථාවන් සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත.

දෙවැනි අර්ධය ජයග්‍රහණය කර කුසලානය දිනා ගන්නේ කවුරුන් ද?

ඉතා උද්වේගකර තරග කිහිපයකින් අනතුරුව 2017/18 ‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර…

අනෙක් පසින් ගුවන් හමුදා ක්‍රීඩකයින් ද සෙමින් තරගයට අවතීර්ණ වූ අතර ඔවුන් ද අවස්ථාවන් කිහිපයක දී ම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ආසන්නයට පැමිණියත් ඒවා සාර්ථක කර ගන්නට අපොහොසත් විය. කෙසේ නමුත් තරගයේ 37 වන මිනිත්තුවේ දී ඉෂාර මදුෂාන් ක්‍රීඩා පිටියේ මැද භාගයේ දී පන්දුව ලබා ගැනීමෙන් අනතුරුව එය සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් ගුවන් හමුදා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට චරිත් සෙනෙවිරත්න සමත් විය (ASC 07 – 14 HSC).

අනතුරුව තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර හැව්ලොක් ක්‍රීඩා සමාජයට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර රීසා මුබාරක් විසින් එය සාර්ථක කර ගන්නා ලදි.

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 07 – 17 හැව්ලොක් ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබාගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් පළමුව දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගත් අතර ඉන් අනතුරුව උත්සාහක දිනුමක් ද වාර්තා කර ගැනීමට සමත් විය. එහිදී  චරිත් සෙනෙවිරත්න විසින් දඬුවම් පහර අවස්ථාවත්, ක්‍රිෂාන් සූර්යා විසින් උත්සාහක දිනුමත් වාර්තා කර ගන්නා ලදි. කෙසේ නමුත් එහි දී උත්සාහක දිනුම ප්‍රවර්තනය කර ගන්නට චරිත් සෙනෙවිරත්න අසමත් වීමත් සමඟ තරගයේ ලකුණු තත්වය සම කර ගැනීමට ගුවන් හමුදා කණ්ඩායමට හිමිව තිබූ අවස්ථාව ගිලිහී ගියේය (ASC 15 – 17 HSC).

ඉන් නොනැවතුණු ගුවන් හමුදා ක්‍රීඩකයින් දිගින් දිගටම ප්‍රතිවාදී හැව්ලොක් ක්‍රීඩා සමාජයට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 58 වන මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් දිනා ගන්නට ඔවුන් සමත් විය. චරිත් සෙනෙවිරත්න විසින් එය සාර්ථක කර ගත්තේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තරගයේ පෙරමුණට රැගෙන එමිනි (ASC 18 – 17 HSC).

කෙසේ නමුත් ඊට වහාම පිළිතුරු දුන් හැව්ලොක් ක්‍රීඩා සමාජය උත්සාහක දිනුම් 2ක් වාර්තා කර ගනිමින් නැවතත් තරගයේ ඉදිරියට එන්නට සමත් විය. දුෂ්මන්ත ප්‍රියදර්ශන සහ චාමර දාබරේ විසින් එම උත්සාහක දිනුම් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් අතරින් රීසා සාර්ථක කර ගැනීමට සමත් වූයේ පළමු අවස්ථාව පමණි (ASC 18 – 29 HSC).

Embed – https://youtu.be/xX4HfnfhLXo

අනතුරුව අස්මීන් ෆාජුඩීන් විසින් හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් විය (ASC 18 – 34 HSC).

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකටම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුණත් ඒවා සාර්ථක කර ගන්නට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත.

ඒ අනුව තරගය අවසානයේ ප්‍රසාද ලකුණක් ද සමඟින් තරගයේ ජයග්‍රහණය හිමි කර ගනිමින් තරගාවලියේ දෙවන අදියරට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 18 (2T 1C 2P) – 34 (5T 3C 1P) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ෂෙහාන් ඩයස් (හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම –

  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: ඉෂාර මදුෂාන් (1T), ක්‍රිෂාන් සූර්යා (1T), චරිත් සෙනෙවිරත්න (1C 2P)
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය: දුලාජ් පෙරේරා (1T), සුදම් සූරියආරච්චි (1T), දුෂ්මන්ත ප්‍රියදර්ශන (1T), චාමර දාබරේ (1T), අස්මීන් ෆාජුඩීන් (1T), රීසා මුබාරක් (3C 1P)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට