“රෝහිත්ව දවා ගැනීම දරුණු සර්පයෙක්ගේ හිසක් ගලවනවා හා සමානයි”

905

වත්මන් ඉන්දීය ක්‍රිකට් නායක Rohit Sharma ඉතා හොඳ හැකියාවන් සහිත පිතිකරුවෙකු බැවින්, ඔහු තවත් ඔහුගේ අවස්ථා උරගා බැලිය යුතු බව හිටපු ඉන්දීය නායක Sunil Gavaskar විසින් පවසා සිටිනවා.

පසුගිය ඉරිදා දින ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව තවත් විස්සයි විස්ස තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට Rohit Sharma ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

ලකුණු 187ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19.5ක් තුල දී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා. මෙහි දී එක් හයේ පහරක් සහ හතරේ පහර දෙකක් එල්ල කරමින් පන්දු 14ක දී ලකුණු 17ක් රැස් කිරීමට නායක Rohit Sharma සමත් වුනා.

ඔහු ප්‍රවේගකාරී ඉනිමකට මුල පිරූ නමුත් තරඟයේ හතර වැනි පන්දුවාරයේ දී Pat Cumminsගේ පන්දුවකට උඩපන්දුවක් ලබා දී දැවී යාමට සිදු වුනා.

එම ඉනිමෙන් අනතුරුව Rohit පිළිබඳ සිය අදහස් දැක්වූ හිටපු නායක Sunil Gavaskar විසින් පැවසුවේ Sharma හොඳ හැකියාවකින් යුත් පිතිකරුවෙකු බවත් ඔහු තමන්ගේ අවස්ථා උරගා බැලිය යුතු බවත්ය.

“ඔබට පිටුපසින් හොඳ පිතිකරණ ලැයිස්තුවක් ඉන්නවා නං ඒ තමයි ඔබ පිතිකරණයේ යෙදිය යුතු විදිහ. ඔව් අපිට අවශ්‍යයි ඔහු දිගු ඉනිම් ක්‍රීඩා කරනවා බලන්න, ඒ වගේම ඔහුට පන්දුවාර 10-12ක් වන තෙක් පිටියේ රැඳී සිටින්න පුළුවන් නම් අපිට අනිවාර්යයෙන් ම ඒ වෙද්දී ලකුණු 120ක් වත් රැස්කර ගන්න පුළුවන්.

ඔහුට ඉන්දීය ඉනිමට ඒ වගේ ආරම්භයක් ලබා දෙන්න පුළුවන් නම් පිතිකරණ අනුපිළිවෙළේ 5,6,7 ක්‍රීඩා කරන අයට තරඟය තවත් වෙනස් කරන්න පුළුවන්. බලන්න Hardik Pandya ඉනිම අවසානයේ ක්‍රීඩා කරන විදිහ, ඒ වගේ පිතිකරණ අනුපිළිවෙළක් පසුපසින් ඉඳිද්දී ඔහු අනිවාර්යයෙන් ම අවදානමක් එක්ක තමන්ගේ අවස්ථා උරගා බැලිය යුතුයි,” Star Sport වෙත Sunil Gavaskar විසින් මෙම අදහස් පළ කර සිටියා.

“අනිවාර්යයෙන්ම, කණ්ඩායමක නායකයාව දවා ගන්නවා කියන්නේ ඕනම ප්‍රතිවාදී කණ්ඩායමකට හොඳ අවස්ථාවක්. ඒක නිකං සර්පයෙක්ගේ ඔළුව ගලවලා ගන්නවා වගේ දෙයක්. ඒ නිසයි ඔබ ආරම්භක පිතිකරුවෙක් සහ නායකයෙක් නම් ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමක් ඔබව ඉලක්ක කර ගනිමින් පන්දු යවන්නේ. නමුත් ඉන්දීය කණ්ඩායම සමඟ එක හා සමාන විශිෂ්ට ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා.”

ඉරිදා පැවති තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු ඉනිම Cameron Greenගේ ලකුණු 52කින් සහ Tom Daviගේ ලකුණු 54කින් සවිමත් වූ ඕස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 186ක් ලෙස සටහන් වූ අතර, ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේ දී Aksar Patel විසින් ලකුණු 33කට කඩුලු 3ක් සහ Yuzvendra chahal විසින් ලකුණු 22කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.

ජයග්‍රාහී ලකුණු 187 හඹා යාමේ දී Suryakumar Yadav විසින් වේගවත් ලකුණු 69ක් සහ Virat Kohli විසින් ලකුණු 63ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ජයග්‍රහණය කරා ගෙන ගියා.

තවත් මෙවැනි උණුසුම් ක්‍රීඩා තොරතුරු ඔබ හා බෙදා ගැනීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

NDTV Sports ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<