කන්ද උඩරටත් නිලට බැබළෙයි

103
105th Battle of the Hill Country Blues

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 105 වැනි වරටත් පැවැත්වෙන “කන්ද උඩරට නිල් මහා සටන” මේ මස 15 සහ 16 දෙදින මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

1914 වසරේ දී බෝගම්බර ක්‍රීඩාංගණයේ දී ඇරඹි මෙම තරගය, මෙරට පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරග අතර 6 වැනි ස්ථානයට පත් තරගය වන අතර ජෝන් හලංගොඩ අනුස්මරණ කුසලානය වෙනුවෙන් තරගය පැවැත්වේ.

දෙවිදුහල් අතර මංගල මහා ක්‍රිකට් තරගය මෙහෙයවීමේ දී  ත්‍රිත්ව විද්‍යාලය සී. ඊ. ද සිල්වා විසින් මෙහෙයවා ඇති අතර සාන්ත අන්තෝනි විද්‍යාලය මෙහෙයවා ඇත්තේ සී. සී. සෙනෙවිරත්න විසිනුයි. එම තරගයෙන් සාන්ත අන්තෝනියන් ජයග්‍රහණය ලබන අතර ඊට පසු වසරේ දී ආර්. ඔන්ඩච්චි ගේ නායකත්වය යටතේ ත්‍රිත්ව විද්‍යාලය ජයග්‍රහණය වාර්තා කරනවා.

ඒ අනුව මේ දක්වා පැවැති තරග අතුරින් ත්‍රිත්ව විද්‍යාලය අවස්ථා 23ක දී ද සහ සාන්ත අන්තෝනි විද්‍යාලය අවස්ථා 11ක දී ජයග්‍රහණ වාර්තා කරගෙන තිබෙනවා. ඉතිරි අවස්ථා 70 දී තරග නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් තවමත් හැඳින්වෙන මුත්තයියා මුරලිදරන් සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ජාතික කණ්ඩායමට එක් වෙද්දී ලෝක පූජිත පිතිකරුවෙක් ලෙසින් අවිවාදිත කුමාර් සංගක්කාර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ජාතික කණ්ඩායමට එක් වෙනවා.

දෙවිදුහල් වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ අවසන් වරට ජෝන් හලංගොඩ අනුස්මරණ කුසලානය දිනා ඇත්තේ 2012 වසරේ දී නිරෝෂන් දික්වැල්ල ගේ නායකත්වයෙන් යුතු ත්‍රිත්ව විද්‍යාලයයි. සාන්ත අන්තෝනි විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් ලබා ඇත්තේ 1992 වසරේ දී උමේෂ් ද අල්විස්ගේ නායකත්වය යටතේයි.

එම මතකයන් සමඟින් මෙවර ත්‍රිත්ව විද්‍යාලය මනුල කුලරත්න විසින් මෙහෙයවන අතර සාන්ත අන්තෝනි විද්‍යාලයීය නායකයා වන්නේ තිසර එක්නායක.

සාන්ත අන්තෝනි විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ Tier A කාණ්ඩය නියෝජනය කරමින් තරග පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලය මෙම තරග වාරයේ දී තරග 14කට සහභාගී වෙමින් ඉන් තරග 6ක් පූර්ණ ජයග්‍රහණ ලබා ගන්නා ලද අතර පළමු ඉනිමේ ජයග්‍රහණ 3ක්, පරාජිත තරගයක් සහ පළමු ඉනිමට පරාජය වූ තරග 4ක් ලෙසින් නිමා කර තිබෙනවා.

මෙම තරග ලැයිස්තුවට එක් වූ සාන්ත අන්තෝනි විද්‍යාලයීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙන්නේ තිසර ඒකනායක. ඔහු තරග 14ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 860ක් ලබා ගන්නවා. ඊට අමතර ව පන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරන ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 14ක්.

තරග 14ක දී ලකුණු 722ක් ලබා ගත් ජනිත් රත්නසිරි මෙම ලැයිස්තුවේ දෙවැනියා බවට පත් වෙනවා. ඔහුගේ ඉනිම් අතර ශතකයක් ද ඇතුලත්. ඊට අමතර ව මෙම ලැයිස්තුවට ලකුණු 440ක් ලබා ගත් කෙවන් ප්‍රනාන්දු, ලකුණු 380ක් ලබා ගත් ජනුක රත්නායක ද සහ ලකුණු 340ක් ලබා ගත් අංජන වීරසේකර ද මෙම ලැයිස්තුව හා එක් වෙද්දී කෞෂික කුමාරසිංහ, චාරුක ඒකනායක, ඉඳුවර ගලප්පත්ති, කවීෂ පියුමාල් ද පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වමින් මෙම ලැයිස්තුව හා එක් ව සිටිනවා.

කණ්ඩායමේ වඩාත් දක්ෂතා දැක් වූ පන්දු යවන්නා වන්නේ කවීෂ පියුමාල්. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරග සමයේ දී කඩුලු 91ක් ලබා ගැනීමට සමත් වූවා. ඊට අමතර ව චාරුක ඒකනායක, ජනිත් රත්නසිරි, තිසර ඒකානයක, බිමාෂ සමරසිංහ, දසුන් වැලියංග සහ කෙවන් ප්‍රනාන්දු ද පන්දු යැවීමෙන් දක්ෂතා දක්වා තිබෙනවා.

 St. Anthony's College

සාන්ත අන්තෝනි වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: තිසර ඒකනායක (නායක), ජනිත් රත්නසිරි, කෞෂික කුමාරසිංහ, දිනුර ගනේගොඩ, චාරුක ඒකනායක, ඕකිත ප්‍රනාන්දු, ඉඳුවර ගලපිටගේ, කෙවන් ප්‍රනාන්දු, ජානුක රත්නායක, නේදන් ඊබට්, කවීෂ පියුමාල්, අංජන වීරසේකර, කවිඳු නවාංජන, ජනුත් අඹන්පොළ, නිකිල් අභිලාශ්, බිමාෂ සමරසිංහ, දසුන් වැලියංග, ඉනුක වැව්ලියද්ද, සදෙව් අමරකෝන්, විශ්ව තිලකරත්න,

බන්දුල ඒකනායක (ක්‍රිකට් භාර ආචාර්ය), කවිඳු ජයසූරිය (ප්‍රධාන පුහුණුකරු), ප්‍රියන්ත කුමාර (Trainer)

ත්‍රිත්ව විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩයෙන් තරග පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ එහි තරගකාරී කණ්ඩායමක් ලෙසින් හැඳින් වෙනවා.

ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරින් පළමු ස්ථානයට පත් වෙන්නේ දකුණත් පිතිකරු ජනිත් වර්ණකුල. ඔහු ඉනිම 15ක දී කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව වාර්තා කරන ලද ද්විත්ව ශතකයක් ද සමඟ ලකුණු 490ක් ලබා ගන්නවා.

ඊට අමතර ව වමත් පිතිකරු විදුක ධම්මගේ තරග 12ක දී ලකුණු 490ක් සහ දකුණත් පිතිකරු දිමන්ත මහවිතාන ඉනිම 16ක දී ශතකයක් ද සමඟින් ලකුණු 486ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වෙනවා.

ඊට අමතර ව දකුණත් පිතිකරු වතිල උදාර ද මෙම ලැයිස්තුවේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් වෙන අතර ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 476ක්. එම ලකුණු අතරට ශතකයක් ද අතුලත්.

ත්‍රිත්ව විද්‍යාලයීය පන්දු යවන්නන්ගේ බලඇණියේ වඩාත් දක්ෂතා දැක් වූ පන්දු යවන්නා බවට පත් වෙන්නේ මලිත් රත්නායක. ඔහු තරග 13ක දී කඩුලු 75ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට අමතර ව තරණ විමලධර්ම කඩුලු 31ක් ලබා ගනිමින් ද, දිනුක තෙන්නකෝන් කඩුලු 23ක් ලබා ගනිමින් ද සහ තිසල් යාපා කඩුලු 16ක් දවා ගනිමින් ද වැඩි දක්ෂතා දක්වනවා.

Kandy Trinity College

ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: මනුල කුලරත්න (නායක), දිනූෂ පීරිස් (උප නායක), දිමන්ත මහවිතාන, ජනිත් වර්ණකුල, කවිඳු ජයරත්න, විදුනෙත් ධම්මගේ, ස්වෙත් අනුරජීව, කවීන් ගමගේ, තිසල් යාපා, මලිත් රත්නායක, පුලීෂ තිලකරත්න, වතිල උදාර, ජයවි ලියනගම, දිනුක තෙන්නකෝන්, තරණ විමලධර්ම, සුපුන් වඩුගේ.

දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ උණුසුම ඒ ආකාරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

කන්ද උඩරට නිල් සටන උණුසුම් කරන ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයන්ට සහ සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<