දුමිඳු අබේවික්‍රමට ලෝකඩ පදක්කමක්

Li Ning Sri Lanka International Series 2024

88
Dumindu Abeywickrama

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ Li Ning Sri Lanka International Series තරගමාලාවේ පිරිමි ඒකල අංශයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දුමිඳු අබේවික්‍රම සමත් වුනා.

පිරිමි ඒකල අංශයේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ඉන්දියාවේ තරූන් මන්නපේලි ලකුණු 22-20ක් සහ 21-15කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට දුමිඳු සමත් වූ අතර එහි දී ඉන්දීය ක්‍රීඩක රාහුල් භාරත්වා හමුවේ ලකුණු 21-19ක් සහ 23-21කින් පරාජයට පත් වීමට සිදු වුනා.

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ රටවල් 16ක දෙස් විදෙස් ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 303 දෙනකු සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වුණේ ගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දීයි.

ප්‍රබල තරගකරුවන් රැසක් අබිබවා පිරිමි ඒකල අවසන් මහා තරගයට පිවිසි චීන සම්භවයක් සහිත කැනේඩියානු ක්‍රීඩක ෂියැංඩොං ෂෙං ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර අනුශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 10-21ක්, 21-19ක් සහ 22-20ක් ලෙස ෂියැංඩොං හමුවේ පරාජයට පත් වූ ඉන්දීය ක්‍රීඩක රාහුල් භරත්වා විසිනුයි.

කාන්තා ඒකල අවසන් තරගයට සඳහා සුදුසුකම් ලැබූ මැලේසියාවේ සිටි සුලේයිකා ලකුණු 21-19ක් සහ 21-15ක් ලෙස පරාජය කළ ඉන්දුනීසියාවේ රුසානා රුසානා කාන්තා ඒකල ශූරතාව දිනා ගත්තා.

පිරිමි යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-19ක් සහ 21-7ක් ලෙස ඉන්දුනීසියාවේ රීසා පූර්නමා සහ රියාන් වේරෝ පරාජයට පත් කළ තායිලන්තයේ සිරාවිට් සොතොන් සහ නතාපාට් ට්‍රින්කාජී විසිනුයි.

තායිලන්තයේ ප්‍රින්දා පට්ටනවරිතිපාන් සහ අටිටායා පොවානොන් ලකුණු 13-21ක්, 21-16ක් සහ 21-14ක් ලෙස පරාජය කරමින් කාන්තා යුගල ශුරතාව දිනා ගැනීමට තායිලන්තයේහිම පිචමොන් පට්චරපිසුට්සින් සහ නන්නාපාස් සුක්ලඩ් සමත් වුනා.

ලකුණු 11-21ක්, 21-19ක් සහ 21-17ක් ලෙස ඉන්දියාවේ චයානිට් ජොෂී සහ කාව්‍යා ගුප්තා පරාජයට පත් කළ තායිලන්තයේ පතරතෝන් නිපෝන්රාම් සහ නට්ටාමොන් ලයිසුවාන් මිශ්‍ර යුගල ශුරතාව දිනා ගත්තා.

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ රටවල් 16ක දෙස් විදෙස් ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 303 දෙනකු සහභාගිත්වයෙන් ගාල්ලේ, දඩල්ලේ ක්‍රීඩා සංකීර්ණයේ දී තරගමාලාව පැවැත්වුනා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<