ඔලිම්පික් යන සූරියවැව දුවන තරුව නිමාලි

454

ජපානයේ පැවැත්වෙන 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත් අවසන් ක්‍රීඩිකාව වූයේ නිමාලි ලියනාරච්චි. ඒ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගින් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට පිරිනැමෙන Universality Place අවස්ථාව අනුවයි. ඒ අනුව නිමාලි මෙවර ඔලිම්පික් උළෙලේ දී මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගී වෙනවා. 

“මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා. අවසන් අවස්ථාව දක්වා ම ඒ බලාපොරොත්තුවෙන් සිටියා. ලැබුණ මේ අවස්ථාව ගැන ගොඩක් සතුටු වෙනවා. රට වෙනුවෙන් නැවත වතාවක් මම මගේ උපරිමය කරනවා. ඒ වගේ ම පවතින තත්ත්වයත් සමඟ මගේ ඉසව්වේ උපරිම දක්ෂතාව දක්වන්න බලාපොරොත්තු වෙනවා.  මේ දිනවල කොළඹ සුගතදාස එකේ නිරෝධායනය වෙමින් සිටින්නේ. උදේ හවස පුහුණුවීම්වලට සහභාගී වෙනවා” නිමාලි ThePapare.com සමඟ පැවසුවා. 

ඇය මීටර් 800 ඉසව්වේ මෙරට ට වැඩිම පදක්කම් ගෙන ආ ක්‍රීඩිකාවයි. එමෙන් ම මේ වන විට ද මීටර් 1500 සහ මීටර් 400 සහාය දිවීම ඉසව්වේ ජාතික වාර්තාවන්වල ඇයගේ නම සඳහන්. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව නිමාලි මේ වන විට මීටර් 800 කාන්තා ඉසව්වේ 56 වැනි ස්ථානයේ පසු වෙනවා.

නිමාලි මලල ක්‍රීඩා පිටියේ පෑ දක්ෂතා අතරට 2015 වසරේ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දිනූ ලෝකඩ පදක්කමත්, 2016 දකුණු ආසියානු තරගාවලියේ දී දිනූ රන් පදක්කමත්, 2017 වසරේ දී ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී දිනූ රන් පදක්කමත් සහ 2019 ලෝක ආරක්ෂක ක්‍රීඩා තරගාවලියේ දී දිනූ රිදී පදක්කමත් ඉහළින් ම ලැයිස්තු ගත වෙනවා. 

ඇයගේ ආසන්නත ම තරග ජයග්‍රහණය වන්නේ පසුගිය මාසයේ ඉන්දියාවේ පැවති 60 වැනි අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමයි. 

මේ දක්වා දක්ෂතා පෑ නිමාලිගේ මලල ක්‍රීඩා ගමන ඇරඹෙන්නේ බොහෝම දුෂ්කර, දුක්බර ආකාරයට. ඇයගේ මලල ක්‍රීඩා ආරම්භය සූරියවැව, වැවේගම කනිෂ්ඨ විද්‍යාලයෙන්. හරි හමන් ක්‍රීඩා පිටියක් තබා ඉගෙනීමට අවශ්‍ය අවම පහසුකම් හෝ නොමැති වූ වැවේගම කනිෂ්ඨය අදටත් ඒ අඩු-පාඩුවලින් සමන්විතයි. 

“ගෙදර ඉඳලා පාසලට යන්න කිලෝමීටර් 4කට වඩා යන්න ඕන. මේ දුර අපි උදේ හවස ගියා. අමතර ක්‍රීඩා පුහුණුවීමක් කියල අපේ පාසලේ තිබුණෙ නැහැ. පාසලේ ක්‍රීඩා ගුරුවරයෙක්වත් හිටියෙ නැහැ. එහෙම ඉගෙන ගැනීමක් තිබුණෙත් නැහැ. අපි අපිට ඕන ක්‍රීඩා ඉසව් කළා. මම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ කළේ මීටර් 1500 සහ මීටර් 800 ඉසව් දෙක. මේ දෙකෙන් ම පළවැනියා වුණේ මම. එතකොට මට වයස අවුරුදු 14ක් විතර ඇති” ඒ නිමාලිගේ මතකය.

නිමාලිගේ පවුලේ නිමාලිට අමතර ව අයියලා දෙදෙනෙකුත් නංගියෙකුත් හිටියා. පියාත් මවත් ගොවිතැනෙන් කුටුම්බයේ අඩු-පාඩු පිරිමහ ගත්තා. ඒත් හිටි හැටියේ ම නිමාලිලාගේ ගෙදරට අවාසනාව කර පින්නාගෙන පියා ජීවිතය හැර යනවා. ඊට පස්සේ අම්මා, තාත්තගෙ බරත් කරට ගන්නවා. කැත්ත, උදැල්ල වගේ ම දැඩි අව් රශ්මියත්  හුරු ඇයට තම දරුවන් වෙනුවෙන් ඒව කළ හැකි වැඩ බවට පත් වෙනවා. 

“තාත්තගෙ මරණෙන් පස්සෙ අම්මා අපි වෙනුවෙන් ගොඩාක් දුක් වින්ඳා. ඒත් කවදාවත් අපි කැමති දේකට අකමැති වුණේ නැහැ. මම ක්‍රීඩා පුහුණුවීම්වලට යන එකට අම්මා තමයි මුලින් ම කැමති වුන කෙනා. නමුත් ඒ දවස්වලට අපිට අවශ්‍ය දේවල් ඒ ආකාරයෙන් ම ලබා දෙන්න අම්මාට බැරි වුනා. ඒ වුනත් අම්මා අපේ ගමන නතර කළේ නැහැ. ගෙදර අඩු-පාඩුත් සමඟ ලොකු අයිය කොළඹ රස්සාවකට ගියා. ඊට පස්සේ ගෙදර කටයුතු හොයා බලාගෙන කරගෙන ගියේ පොඩි අයියා. නංගිටත් මම වගේ ම දුවන්න දක්ෂතා තිබුනත්, අපේ අඩු-පාඩු නිසා එයා ඒවට එන්න ටිකක් අදි-මදි කළා.”

වැවේගම කනිෂ්ඨෙට ගිය නිමාලිට අවශ්‍ය වුනේ තරගවලට සහභාගී වීමත්, ඉන් ජයග්‍රහණය කිරීමත් පමණයි. ඇය ඒක කළා. ජයග්‍රහණයෙන් පසුව යහළුවන් සහ නිවැසියන් සමඟ ඒ ගැන කියමින් අහිංසක සතුටක් වින්ඳා. ඉන් එහාට දෙයක් ගැන නිමාලි දැනගෙන හිටියෙ නැහැ. 

නමුත් මේ ජයග්‍රහණත් සමඟින් නිමාලි බොහෝ දුරකට ගෙන යෑ හැකි බැව් විශ්වාසය තැබූවෙක් ද ඒ තරග නැරඹුවා. එපමණක් නොවේ ඔහු එම තරග විනිශ්චය ද කළා. නමින් ඔහු සුජිත් අබේසේකර. ස්ථීර රැකියාවක් නොමැතිව, කුලියට ගොවිතැන් කරමින්, මීටර් 400 සහ 800 ඉසව්වේ තනිව පුහුණුවිම් වෙමින්, තවත් කිහිප දෙනෙක්ට දුවන්නට තමන් දන්නා දේ ස්වේච්ඡාවෙන් උගන්වමින් සිටි කාලය. 

“ඒ 2003 අවුරුද්ද. ඒ කාලෙ මම පොඩි පාසල්වල නිවාසාන්තර තරගවල විනිශ්චය කටයුතුවලට සහභාගී වෙනවා. නිමාලි මුලින් ම දකින්නෙත් එහෙම ගියපු ගමනකිනි. නිමාලිත් එක්ක තවත් ක්‍රීඩිකාවක් දිවුවා. නිමාලි නම් බොහොම කෙට්ටුයි. අනෙක් ළමයා ටිකක් බැලූ බැල්මට මලල ක්‍රීඩාවට ගැළපෙන ශරීරයකින් යුක්තයි. නමුත් ඒ තරග දෙකෙන් ම නිමාලි ඇයට හොඳ තරගයක් ලබා දෙමින් ජයග්‍රහණය කරනවා. 

ජයග්‍රහණයට වඩා මම නිමාලි වෙතින් සුවිශේෂී බවක් දැක්කා. ඒ දරා ගැනීමත් සමඟ නිමාලිගේ සුවිශේෂී තරග රටාව. තරගයෙන් පසුව මම ඒ දෙදෙනාට ම මාත් සමඟ පුහුණු වෙන්න ආරාධනා කළා. නමුත් අර ක්‍රීඩිකාව ආවෙ නැහැ. නිමාලි ආවා” සුජිත් පැවසුවා. 

එදා ‘ඇඟේ අමාරුවට’ මලල ක්‍රීඩා පිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තැනූ සුජිත්ට අද ඊට නිසි ඇගයීමක් ලැබිලා. අද ඔහු දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා නිලධාරියෙක් ලෙසින් කටයුතු කරනවා. ඔහුගේ සේවාව සුපුරුදු සූරියවැව ප්‍රදේශයමයි. 

“සූරියවැව තවමත් තියෙන්නේ පරණ තත්ත්වයේමයි. වරින් වර යම් යම් ප්‍රතිපාදන ලැබුනත් වැඩේ කෙරෙන්නේ නැහැ. කොතරම් අඩු-පාඩු තිබුනත් දක්ෂයෝ ඉන්නවා. නමුත් ඔවුන් මේ ක්ෂේත්‍රයේ තබා ගන්න අපිට හැකියාවක් නැහැ. මොකද ඔවුන් බලන්නේ දක්ෂතා දක්වමින් ඉහළ ගිය අය ගැන. ඔවුන්ට ලැබුණ දෙයක් නැහැ. මේ තත්ත්වයට පත් වෙන්න නව පරම්පරාව කැමති නැහැ. ඉතිං නවකයෝ ක්‍රීඩාව අත් හැර යනවා” ඒ සුජිත් සූරියවැව ක්‍රීඩාව දකින විදිහ.

“නිමාලි මේ තත්ත්වයට ආවේ ගොඩක් දුක් විඳලා. අඩු-පාඩු මැද. අම්මා ගොඩාක් දුක් වින්දා. අයියා ඉගෙනීම අතහැරලා රස්සාවකට යනවා නංගිලා, මල්ලි වෙනුවෙන්. දැන් නම් ඔවුන් යම් මට්ටමකට ඉන්නවා. නමුත් මම විශ්වාස කරනවා ඔවුන්ගේ සේවය රටට නිසියාකාරව ලබා ගන්න නම් ඔවුන්ගේ බාහිර ප්‍රශ්නවලට යම් මැදිහත් වීමක් අවශ්‍යයි කියලා. ඉස්සරහට නම් හොඳ දෙයක් වෙයි කියල හිතෙනවා. මොකද සුපිරි සංචිතයේ  ඉන්න අයට රුපියල් ලක්ෂයක දීමනාවක් ලැබෙනවා. ඒක දිගට ම වෙනවා නම් ඉතා හොඳයි” සුජිත් නිමාලි සාක්ෂියක් ලෙස ගනිමින් සමස්ත මලල ක්‍රීඩාව ගැනම පැවසුවේ ඒ ආකාරයෙන්.  

“ඔලිම්පික් උළෙලේ දී නිමාලි ලොකු දෙයක් කරනවා කියල කියන්න අමාරුයි. පසුගිය කාලයේ මුහුණ දුන් අනතුර හේතුවෙන් පුහුණුවීම් පවා අතපසු වුනා. නමුත් මේ තරගාවලියේ දී එයාගෙ හොඳම කාලය වාර්තා කරයි කියල හිතෙනවා. මේ සුදුසුකම් ලැබීමත් සමඟ අපේ බලාපොරොත්තුව ලබන අවුරුද්දේ පැවැත්වෙන ආසියානු තරගාවලියේ දී පදක්කමකට යෑම. ඒ වෙනුවෙන් පසුගිය කාලයේ වැඩි හරියක් පුහුණුවීම් කටයුතු නුවරඑළිය ප්‍රදේශයේ දී සිදු කළා. ඔලිම්පික් අවසානයේත් නුවරඑළියේ දී ඒ පුහුණුවීම් ඒ ආකාරයෙන් ම පවත්වා ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා” සුජිත් නිමාලිගේ ඔලිම්පික් සහභාගීත්වය හා ඉන් පසුව අනාගතය ගැන එසේ පැවසුවා.  

සුජිත් ළඟට මලල ක්‍රීඩා පිටියේ හතර කොන් දැන ගැනීමට පැමිණි නිමාලි, වසරක් ඉක්ම යන්නත් කලින් එළඹි 2004 අවුරුද්දේ කොළඹ, සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 සහ 1500 රන් පදක්කම් දිනනවා. 

එතැන් සිට නිමාලි මේ දක්වා දේශීය මලල ක්‍රීඩා පිටියේ විවිධ ඉසව්වල දක්ෂතා දක්වමින් සිටිනවා. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ මීටර් 800 ඉසව්වෙන් මෙරට වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ඇති ක්‍රීඩිකාව ලෙසයි. එමෙන් ම එම ඉසව්වෙන් මෙරටට වැඩිම පදක්කම් ප්‍රමාණයක් ගෙන ආ ක්‍රීඩිකාව වන්නේ ද නිමාලියි. 

ඊට අමතර ව ඇය මීටර් 5000 රට හරහා ඉසව්ව, මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව, මීටර් 1500, මීටර් 400 ඉසව්ව සහ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව ද නියෝජනය කර තිබෙනවා. ඒ අතරින් මීටර් 1500 ඉසව්වේ වත්මන් ජාතික වාර්තාවේ හිමිකාරීත්වයේ පසු වෙන්නේ ඇයයි. එමෙන් ම මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ වත්මන් ජාතික වාර්තාවේ හිමිකාරීත්වයේ සිටින්නන් අතර නිමාලි ද අයෙක්.

“සහභාගී වූ හැම ඉසව්වකින් ම විශේෂ යමක් කිරීමට හැකි වුනා. මේ කිසිදු ඉසව්වක් ආවට ගියාට වෙනස් කළේ නැහැ. සුජිත් සර්ගේ අනුදැනුම මතයි මේ හැම දෙයක් ම කළේ. මට සර් ව විශ්වාසයි. සර් යම් තීරණයක් ගත්තොත් ඒ ගොඩක් හිතල, මම වෙනුවෙන් කියල දන්නවා. සර් වෙනස් කරමින් මම සහභාගී වූ ඒ සෑම ඉසව්වකින් මම ජයග්‍රහණය කරල තියෙනවා. මීටර් 5000 රට හරහා දිවීමේ ඉසව්ව ඇරෙන්න අනෙක් සෑම ඉසව්වක ම ජාතික වාර්තාව තැබුවා. රට හරහා දිවීමේ ඉසව්ව අවුරුදු 2කට පස්සේ නතර කළා. නැත්නම් ඒකෙත් ජාතික වාර්තාව තබන්න තිබුණා” නිමාලි දැඩි ආත්ම විශ්වාසයකින් පවසනවා. 

මේ සියලු දේවල් අතරින් නිමාලි ගැන බොහෝ දෙනෙක් කතා කරන්නට ගන්නේ වසර 24ක් පැරණි මීටර් 800 කාන්තා ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමූදා. එතෙක් එම වාර්තාවේ හිමිකාරිය වූයේ  ශ්‍රියානි ධම්මිකා මැණිකේ. ඇය  1992 දී මේ වාර්තාව දිනා ගත්තේ විනාඩි 2:03.85ක කාලයක් වාර්තා කරමින්. එම වාර්තාව නිමාලි විසින් 2016 වසරේ දී යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දී  පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී විනාඩි 2:03.5ක කාලයකින් අවසන් කරමින් නව වාර්තාවේ හිමිකාරිය වූවා. නමුත් නිමාලිගේ මේ තරග ඉසව්වේ හොඳම කාලය ලෙසින් වාර්තා වන්නේ 2017 වසරේ දී විනාඩි 2:02:58කින් නිමා කළ කාලයයි. 

“මොන තරම් දක්ෂතා තිබුනත්, බලාපොරොත්තු තිබුනත් ක්‍රීඩාව පවත්වා ගෙන යෑමේ දී විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුනා. ඒ සෑම අවස්ථාවක මගේ අම්මා, සහෝදර, සහෝදරියෝ වගේ ම මගේ පුහුණුකරු සුජිත් අබේසේකර සර් මම ළඟ ම හිටියා. මට ශක්තියක් වුනා. ඊට පස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව. මට රැකියාවක් ලබා දෙමින්, මගේ ක්‍රීඩා පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් සහ විවේකය ලබා දෙමින් මගේ දක්ෂතා මේ තරමට ගෙන ඒමට දායකත්වය දැක්වුවේ ඔවුන්. ඒ වගේ ම මගේ පෞද්ගලික අඩු-පාඩුවලට පවා මැදිහත් වුනේ ගුවන් හමුදාව. ඊට අමතර ව තවත් විශාල පිරිසක් මගේ මේ ජයග්‍රහණ පිටුපස හිටියා සහ අදටත් ඉන්නවා. ඔවුන් සියලුම දෙනාට මගේ ස්තූතිය හිමි වෙනවා.” නිමාලි ThePapare.com සාකච්ඡාව අවසන් කරමින් පැවැසුවා. 

23 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා ටෝකියෝ නුවරට යන නිමාලි ලියනාරච්චි ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්. 

ඒ වගේමයි ඔවුන් විතරක් නෙමෙයි මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා ThePapare.com අපත් සහභාගී වෙනවා. ටෝකියෝ නුවර සිට ඔලිම්පික් උළෙලේ තතුවිත්ති, ඡායාරූප, වීඩියෝ ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<