Li Ning Sri Lanka challenge බැඩ්මින්ටන් තරගාවලිය සියල්ල සූදානම්

Li Ning Sri Lanka Challenge International Badminton Tournament 2024

113
Li Ning Sri Lanka Challenge International Badminton Tournament 2024

රටවල් 20ක විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 5 වැනිදා ගාල්ල, දඩල්ලේ ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලාංකේය බැඩ්මින්ටන් පිටියට නව ජීවයක් එක් කරමින් පැවැත්වෙන මෙම තරගාවලිය වසර 9කට පසු මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වන සුපිරි ක්‍රීඩක විරේන් නෙත්තසිංහ මෙරට ප්‍රධානතම බලාපොරොත්තුව වන අතර ඔහු පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයේ සිටින පසු වෙනවා.

එමෙන්ම මෙම තරගාවලිය නියෝජනය කරන සුපිරි ඉන්දීය ක්‍රීඩකයන් වන එම්. මංජුනාත් සහ එස්. සුබ්‍රමනියම් ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථානයේ පසු වෙද්දී, මැලේසියානු ක්‍රීඩක  ජස්ටින් හොහ් තුන්වැනි ස්ථානයේ පසු වෙනවා.

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවිධායකත්වයෙන් 5 වැනිදා ආරම්භ වන  මෙම තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා සහභාගි වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් තරග පෙබරවාරි 11 වැනිදා පෙරවරු 10.00 සිට පැවැත්වීමට සූදානම් කර තිබෙන අතර  ජයග්‍රාහකයන්ට අමෙරිකානු ඩොලර්  15,000ක මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතයි.

Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියට විවෘත පිරිමි ඒකළ සහ යුගල, විවෘත කාන්තා ඒකල සහ යුගල තරග, මිශ්‍ර යුගල තරග අංශ ඇතුළත් වන අතර ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ කාන්තා හා පිරිමි තරග අංශ ද තරගාවලියට ඇතුළත්.

විරේන් නෙත්තසිංහට අමතරව  ශ්‍රී ලංකාවේ ඉහළ දස්කම් අතර සිටින බුවනෙක ගුණතිලක, ආශිංස හේරත්, දුමිඳු අබේවික්‍රම සහ රසිඳු හෙන්දහේවා ද ප්‍රධාන තරගාවලියට එක්ව සිටින අතර ශ්‍රී ලංකාවේ ජාතික බැඩ්මින්ටන් ශූරිය රනිත්මා ලියනගේ කාන්තා ඒකල ප්‍රධාන තරගාවලියට එක් වී සිටිනවා.

මෙම තරගාවලියේ අවසන් තරග ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව ThePapare ඔස්සේ සජීවීව විකාශනය වන කරන අතර තරගාවලියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<