ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ ශූරයා ශෙනුක් – ශුරිය නෙත්මි

95

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත ඌව පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ ඌව පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය පසුගිය දා පැවැත්වුණා.

එම තරගාවලියේ විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට ශෙනුක් තවීෂ සමරරත්න සමත් වෙද්දී,  විවෘත කාන්තා ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ නෙත්මි අමායා රත්නායක විසිනුයි.

පසුගිය දා බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයෙන් ලකුණු 21-17ක් සහ 21-13ක් ලෙස මලිත හසරංග සූරියආරච්චි පරාජය කරමින් පිරිමි ඒකල කිරුළ දිනා ගැනීමට තවීෂ සමත් වුනා.

නෙත්මි අමායා  විවෘත කාන්තා අවසන් මහා තරගයේ දී ලකුණු 21-9ක් සහ 21-7ක් ලෙස තරූෂි නවෝද්‍යා දන්තනාරායන පරාජය කරමින් ශූරතාවය දිනා ගත්තා.

ලකුණු 21-14ක් සහ 21-14ක් ලෙස හංස ද සිල්වා සහ යොහාන් බණ්ඩාර වීරසූරිය පරාජය කළ  දිනුර රෂ්මික ප්‍රියශාන්ත සහ සියත් දුල්නෙත් සේනාරත්න විවෘත පිරිමි යුගල ශූරතාව දිනා ගත්තා.

චම්‍යා නිර්මාණි නන්දසිරි සහ යස්මිතා සිතුමිණි වෙදමුල්ල ලකුණු 21-13ක් සහ 21-12ක් වශයෙන් පරාජය කරමින් විවෘත කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට ඉසුරි අත්තනායක සහ සිතුමි මිනාරා ද සිල්වා සමත් වුනා.

එමෙන්ම විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-12ක් සහ 21-10ක් ලෙස හංස ද සිල්වා සහ චාම්‍යා නිර්මාණී නන්දසිරි පරාජය කළ තෙනුක සත්සර  ද සිල්වා සහ සමිදි ඔනෙල් සත්නාරා විසිනුයි.

තවීෂ සමරරත්න මෙම තරගාවලියේ අවුරුදු 19න් පහළ බාලක ශූරතාව දිනා ගැනීමට ද සමත් වූ අතර මිනූෂා අභිමානි පද්ම බණ්ඩාර අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනා ගත්තා.

විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ට හා පළඟ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැති මෙම තරගාවලියේ කනිෂ්ට තරග කාණ්ඩයට අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ අවුරුදු 19න් පහළ බාලක ඒකල හා යුගල සහ බාලිකා ඒකල සහ යුගල තරග ඉසව් ඇතුළත් වූ අතර, ජ්‍යෙෂ්ඨ තරග කාණ්ඩයට අවුරුදු 30න් ඉහළ, 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ, 60න් ඉහළ, 65න් ඉහළ සහ අවුරුදු 70න් ඉහළ පිරිමි ඒකල හා යුගල, කාන්තා ඒකල හා යුගල සමඟ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත් වුනා.

මෙම ඌව පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය Mcfoil, Mobil, 3M, GAC සහ Li-Ning අනුග්‍රාහකත්වය දක්වා තිබුණා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<