IPL විවේචනවලට ගවස්කාර්ගෙන් සැර උත්තරයක්

212

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන අතර ඒ පිළිබඳව පවතින විවේචන ද සුළුපටු නොවේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් වන විවේචන පිළිබඳව ඉන්දීය හිටපු පිතිකරුවෙකු වන සුනිල් ගවස්කාර් සිය හඬ අවදි කර තිබුණි.

එහි දී ගවස්කාර් පවසා සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය විවේචනය කරන පුද්ගලයන් ඒ පිළිබඳව ඊර්ෂ්‍යාවකින් පසුවන බවයි.

ගවස්කාර් තම මතය මෙලෙස ප්‍රකාශ කළේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි අදියර ආරම්භ වීමට මාසයකට අඩු කාලයක් ඉතිරිව තිබිය දී ය. 2020 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු මාසයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර පැතිර ගිය කොරෝනා වයිරසයත් සමඟින් එය දෙවතාවක්ම කල්දැමූ අතර 2020 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය කල් යාමත් සමඟින් එම කාලසීමාව තුල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් කවුන්සලය පසුගිය මාසයේ දී තීරණය කළේය.

මෙම වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී ඔක්තෝබර් – නොවැම්බර් මාස තුල පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි. නමුත් ලොව පුරා තවමත් සක්‍රීයව පවතින කොරෝනා වයිරසයේ තත්ත්වය සමඟින් එය 2021 වසර දක්වා කල්දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කළේය.

ඒ අනුව එම කාලය තුල පැවැත්වීමට සැලසුම් කල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතය. ඉන්දියාව තුල පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තරගාවලිය ඉන්දියාව තුල පැවැත්වීම අවදානම් බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්

India Today ඔස්සේ විකාශය වන Inspiration හි නවතම වැඩසටහන සමඟින් එක්වෙමින් සුනිල් ගවස්කාර් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එල්ල වන චෝදනා හා විවේචන පිළිබඳව අදහස් දක්වා සිටියා.

මේ විවේචකයන් දකින්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඇති මුදල් පැතිකඩ විතරයි.  ඔවුන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට කරන සේවය දකින්නේ නෑ. මම හිතන්නේ ඒ ඔවුන්ගේ ඊර්ෂ්‍යාව. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැති අය ඒක ගැන විවේචනය කරනවා.”

මේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් නෙමෙයි ඒකට සම්බන්ධ ගොඩක් අයගේ ජීවනෝපාය වෙනවා. ක්‍රීඩාලෝලීන්ගේ මුහුණු තීන්ත ආලේප කරන පිට්ටනියේ සිටින පුද්ගලයින්, තරගයකට පෙර ක්‍රීඩාංගණයෙන් එළියේ T-shirt විකුණන පුද්ගලයන්, ක්‍රීඩාංගණයේ ආහාර වෙළඳසැල් තියන වෙළෙන්දන් වගේ ගොඩක් අය මේකට සම්බන්ධ වෙනවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වටා මුළු ගෘහ කර්මාන්තයක්ම තියනවා.”

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සමාජ මාධ්‍යවල එල්ල වන විවේචන පිළිබඳව ද ගවස්කාර් සිය මතය ප්‍රකාශ කර තිබුණි.

යම් කෙනෙකුට අන්තර්ජාලයේ තරමක් ප්‍රසිද්ධ වීමට අවශ්‍ය නම් ඔවුන් කරන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉලක්ක කරලා විවේචන එල්ල කරන එක. මම හිතන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඒ වගේ ගොඩක් අයගේ ඉලක්කයක්.” ඔහු පැවසීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට විරුද්ධ පුද්ගලයින් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කයක් තමයි ඔවුන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නවා සහ අපි ඉන්දීය ක්‍රිකට්වල දියුණුව ගැන විතරක් හිතනවා කියන එක. අපි හැමෝම සමස්ත ක්‍රිකට් ක්‍රීඩාව ගැනම හිතන අය. ඒ නිසා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ ගැන ඔබ අපිට කියන්න ඕනේ නැහැ” ගවස්කාර් තවදුරටත් පැවසීය.

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් මාස 10 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ තුනක දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා වන විශේෂ සෞඛ්‍යාරක්ෂිත නීති මාලාවක් ද ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<