Li Ning Sri Lanka challenge තරගාවලියේ වැඩි ගෞරව ඉන්දියාවට

Li Ning Sri Lanka challenge International Badminton Championship 2024

53
Li Ning Sri Lanka challenge International Badminton Championship 2024

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් පැවති Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය ඊයේ (11) නිමාවට පත් වුනා.

රටවල් රැසක් සහභාගී වූ මෙම සුවිශේෂී තරගාවලියේ දී  රන් පදක්කම් ත්‍රිත්වයක් සහ රිදී පදක්කම්  ත්‍රිත්වයක් දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වීම විශේෂත්වයක්.

කාන්තා හා පිරිමි ඒකල රන් පදක්කම් සමඟ මිශ්‍ර යුගල රන් පදක්කම දිනා ගත් ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිමි  හා කාන්තා ඒකල රිදී පදක්කම්වලට සහ කාන්තා යුගල රිදී පදක්කමට ද දිනාගැනීමට සමත් වුනා.

රටවල් 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග මෙම බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී ඉන්දීය ක්‍රීඩක සතිෂ් කුමාර් ලකුණු 21-18ක් සහ 21-17ක් ලෙස පරාජය කිරීමට කාර්තිකි ගුල්ෂාන් කුමාර් සමත් වූ අතර කාන්තා ඒකල අවසන් මහා තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකා සන්තෝෂ් රාම්රාජ් ලකුණු 22-20ක් සහ 21-14කින් පරාජය කිරීමට ඉෂ්රානි බරුවා සමත් වුනා.

මිශ්‍ර යුගල අවසන් මහා තරගයේ දී ඉන්දිය ජාතික අසිත් සූර්යා සහ අම්රුතා ප්‍රමුදේශ් හමුවේ තායිලන්තයේ පුවනාත් හොර්බන්ලුකිට් සහ චසිනී කොරිපාප් ලකුණු 21-15ක් සහ 21-13ක් ලෙස පරාජයට පත් වුනා.

තරගාවලියේ ඉන්දීය ආධිපත්‍ය බිඳ දමමින් කාන්තා යුගල අවසන් මහා තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකාවන් වන රුතපර්නා පාන්ඩා සහ ස්වෙටර්පනා පාන්ඩා ලකුණු 21-12ක් සහ 21-14ක් ලෙස පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට තායිලන්තයේ පිචමොන් පට්චරපිසුට්සින් සහ නන්නාපාස් සුක්ලඩ් සමත් වීම කැපී පෙනුණා.

පිරිමි යුගල අවසන් මහා තරගයේ දී ලකුණු 18-21ක්, 21-15ක් සහ21-15ක් ලෙස මැලේසියාවේ බ්‍රයන් ජෙරමි සහ ෆස්රික් මොහොමඩ් පරාජය කළ ඉන්දුනීසියාවේ රහමට් හිදායත් සහ යෙරෙමියා ඊරිච එම කාණ්ඩයේ රන් පදක්කම දිනා ගත්තා.

මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් ද එම අවස්ථාවට එක්ව සිටියා.

මෙම තරගාවලියේ අවසන් දිනයේ තරග සියල්ල ඔබ වෙත සජීවීව සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare අපට හැකි වුනා.

එමෙන්ම මෙම තරගාවලිය අවසන් වූ පසු Li Ning Sri Lanka International Series 2024  තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලියේ අවසන් දිනයේ තරග සියල්ල පෙබරවාරි 18 වැනිදා සජීවීව විකාශය කිරීමට ThePapare අප සූදානමින් සිටිනවා.

එම තරගාවලිය ඇතුළු දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<