දිමුත් ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක!

Sri Lanka Tour of New Zealand 2023

646
Sri Lanka Tour of New Zealand 2023

වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විසින් ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය නායකත්වයෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බව අද (20) ප්‍රකාශ කළා.

නවසීලන්තය සමඟ පැවැත්වුණු තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද දිනයේ ඉනිමකින් සහ ලකුණු 58කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ අතර, එම තරග පරාජයෙන් පසුව මාධ්‍ය හමුවකට එක් වූ දිමුත් සිය නායකත්වය පිළිබඳ මෙසේ අදහස් ප්‍රකාශ කළා.

ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්ත  කණ්ඩායම තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, එම තරගාවලියෙන් පසු තමන් නායකත්වයට සමුදීමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් තේරීම් කමිටුව වෙත දැන්වූ බවයි දිමුත් විසින් මෙහි දී සඳහන් කළේ.

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියට  (2021-23) අදාළ සියලු තරග (අවසන් මහා තරගය හැර) අද ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයෙන් පසුව අවසන් වූ අතර, මීළඟට නැවතත් ටෙස්ට් ලෝක ශූරතාවලියක් පැවැත්වීමට පෙර ආසන්න ලෙස වසර දෙකක කාලයක් පුරා තරග පැවැත්වීමට නියමිතයි. එම කාල රාමුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නව නායකයකු යටතේ ඉදිරිපත් වීම වඩාත් උචිත බැවින් තමන් මෙම තීරණය ගත් බවයි දිමුත් තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.

2019 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ දිමුත් කරුණාරත්න මේ වන තෙක් ටෙස්ට් තරග 26ක දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 10ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් වී තිබෙනවා. එමෙන්ම ඉතිරි තරග 16න් තරග 6ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර තවත් තරග 10ක දී ශ්‍රී ලංකාවට උරුම වී ඇත්තේ පරාජයයි.

එමෙන්ම මෙම ටෙස්ට් තරග 26 තුල දී පිතිකරුවකු ලෙස සිය නායකත්වයේ වගකීම මනා ලෙස ඉටු කිරීමට සමත් වී ඇති දිමුත් ලකුණු 2242ක් රැස් කර ඇති අතර ඊට ශතක 6ක් ද ඇතුළත් වනවා. එමෙන්ම නායකයකු ලෙස දිමුත්ගේ පිතිකරණ සාමාන්‍ය ලෙස 47.70ක් වැනි ඉහළ අගයක ද සටහන් වී තිබෙනවා.

කෙසේ වෙතත් සිය තීරණය පිළිබඳ තේරීම් කමිටුවට දැනුම් දුන්නත් ඒ වෙනුවෙන් තමන්ට තවමත් පිළිතුරක් නොලැබුණු බවයි දිමුත් තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<