වෙනස් කරපු පරිසාධන කාලසීමාව නැවත වෙනස් කරන්න ඉල්ලීමක්!

73

පවතින කොරෝනා වසංගත තත්වය නිසාවෙන් 32 වැනි ගිම්හාන ඔලිම්පික් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කළ අතර ඒ අනුව තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ කාලසීමාව ද මෙම වසරේ දෙසැම්බර් දක්වා අත්හිටුවීමට ලෝක මලල ක්‍රීඩා සංගමය පසුගිය දා තීරණය කළේය.

ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලසීමාව පස්සට යයි

මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ජපානයේ ටෝකියෝ නුවර දී …….

නමුත් මේ පිළිබඳව ලෝක මලල ක්‍රීඩා සංගමය වෙත ලිපියක් නිකුත් කරමින් “The Euromeetings group” සංවිධානය ඉල්ලා සිටියේ, සුදුසුකම් ලැබීමේ කාලසීමාව තාවකාලිකව නවතා දැමීම පිළිබඳව නැවත සලකා බලන ලෙසයි.

ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම වසර තුල තරගාවලි කිහිපයක් පැවැත්වීමට නියමිත බැවින් මෙම අත්හිටුවීම හරහා තරගකරුවන්ට තම සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇති බවයි. 

“යම්හෙයකින් මෙම වසරේ ගිම්හාන කාල සීමාවේ තරගාවලි පැවැත්වීමට ඉඩ ලැබුණොත් එමගින් තරගකරුවන්ට ඔලිම්පික් පරිසාධන මට්ටම ළඟා කර ගැනීමට අවස්ථාව ලබා දෙන මෙන් අප ඉල්ලා සිටිනවා.”

“මෙම යෝජනාව සඳහා ක්‍රීඩකයන්, නියෝජිතයන් සහ ජාතික සම්මේලනවල සහය ද අපිට හිමිව තිබෙනවා. මීට අමතරව ඔලිම්පික් සුදුසුකම් ලැබීම් ඇතුළත් තරගාවලි මෙම වසර තුල පැවැත්වීමට හැකි වේ නම් මාධ්‍ය ආයතන ද එයට ප්‍රසාදය පල කරනු ඇති” යැයි ඔවුන් වැඩි දුරටත් දන්වා තිබුණි.

කෙසේ නමුත් තවමත් ලෝක මලල ක්‍රීඩා සංගමය මේ සඳහා ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර මීට පෙර මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී සෙබස්තියන් කෝ ප්‍රකාශ කර සිටියේ සියලුම ක්‍රීඩක/ ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් සිහිනය බොඳවී යාමට ඉඩ නොදී සැමටම අවස්ථාවක් ලබා දීමේ අරමුණින් මෙම තාවකාලික අත්හිටුවීම සිදු කරන බවයි. 

කොරෝනාවෙන් බේරීමට කාර්ය සාධක බලකායක්!

පවතින තත්වය මත, මෙම වසර තුළ ලොව පුරා පැවැත්වීමට නියමිත තරගාවලි ලබන වසර තෙක් කල් දැමීමට සිදු වූවත්, යුරෝපානු මලල ක්‍රීඩා ශූරතාවලිය, බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා ශූරතාවලිය ඇතුළු යුරෝපා කලාපයේ ඔලිම්පික් සුදුස්සන් තේරීමේ තරගාවලි කිහිපයක් මේ වසර තුළ දී ම පැවැත්වීමට නියමිතව ඇත. 

නමුත් ලෝක මලල ක්‍රීඩා සංගමයේ තීරණයට අනුව ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමේ කාලසීමාව මෙම වසරේ අප්‍රේල් 07 වැනිදා සිට දෙසැම්බර් මස 01 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති අතර දෙසැම්බර් මස 01 වැනිදා සිට ලබන වසරේ ජුනි මස 29 වැනිදා දක්වා එම සුදුසුකම් ලැබීමේ කාල සීමාව ක්‍රියාත්මක වනු ඇත. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<