“එක්දින තරග එන්න එන්නම කම්මැලි වෙනවා” – Sachin Tendulkar

6687

වර්තමානයේ දී එක්දින ක්‍රිකට් තරග තරමක ඒකාකාරී ස්වභාවයක් ගෙන ඇති බවත්, පන්දු යවන්නන් හට එක්දින තරගවල දී යම් අසාධාරණයක් සිදු වන බවත් හිටපු සුපිරි ඉන්දීය පිතිකරු Sachin Tendulkar විසින් පවසනවා.

හිටපු ඉන්දීය පිතිකරු විසින් පවසන්නේ එක්දින තරග කෙරෙහි ඇති ප්‍රේක්ෂක ආකර්ෂණය දිගින් දිගටම පවත්වා ගැනීමට නම් ක්‍රීඩාවේ යම් වෙනස්කම් කිහිපයක් සිදු විය යුතු බවයි.

“සැකයකින් තොරවම දැන් ඒක (එක්දින තරග) ඒකාකාරී වෙලා තියෙන්නේ. වර්තමානයේ තරගයක දී එක් ඉනිමක් වෙනුවෙන් නව පන්දු දෙකක් භාවිතා කරනවා. ඔබට නව පන්දු දෙකක් තියෙන කොට Reverse Swing එක ඇති වෙන්න ඉඩක් නැහැ.

අපි තරගයක 40 වැනි පන්දුවාරයේ ඉඳිද්දී එක පන්දුවකින් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ පන්දුවාර 20ක් විතරයි. ඒත් පන්දුවක් Reverse Swing වෙන්න පටන් ගන්නේ පන්දුවාර 30ක් පමණ යොමු කරාට පස්සේ. මේ වගේ තත්ව නිසා මට හිතෙන්නේ දැන් පන්දු යවන්නන්ට පැටවෙන බර වැඩි වෙලා.

දැන් වෙද්දී තරග ප්‍රතිඵල අනුමාන කිරීම තරමක් පහසුයි. තරගයක 15 වැනි පන්දු වාරයේ සිට 40 වැනි පන්දු වාරය වන තෙක් කිසිම ජීවයක් නැහැ. මේක එන්න එන්නම කම්මැළි වෙනවා.

වත්මන් එක්දින ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සිය අප්‍රසාදය යම් තරමකට හෙලි කළ Sachin පසුව පවසා සිටියේ මේ තත්වය වෙනස් කිරීමට නම් තරගයක කණ්ඩායම් දෙකටම සමාන අවස්ථා හිමි විය යුතු බවයි.

“කණ්ඩායම් දෙකම තරගයේ කොටස් දෙකේ දීම පන්දු යවාවී. තරගයක් ඉනිම් හතරකට බෙදීම වාණිජමය පැත්තෙනුත් සාර්ථක වේවි.”

එක්දින තරගයක කණ්ඩායමක් පන්දුවාර 25 බැගින් ඉනිම දෙකකට ක්‍රීඩා කළ යුතු යැයි යෝජනාවක් ගෙන එමින් Sachin එසේ ප්‍රකාශ කරනවා. මේ මගින් පින්න, කාසියේ වාසිය වැනි බාහිර සාධක මගින් තරගයකට එල්ල විය හැකි බලපෑම අවම කළ හැකි බවයි Sachin පවසන්නේ.

එමෙන්ම පසුගිය දා නිමාව දුටු Border – Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී තරග පැවැත්වුණු ක්‍රීඩාංගණ පිළිබඳව සහ තරග හතරෙන් තුනක්ම ඉතා ඉක්මනින් නිමා වීම පිළිබඳව බොහෝ සෙයින් විවේචන ඇති වුනා. නමුත් Sachin නම් පවසන්නේ ටෙස්ට් ක්‍රිකට් වලට ඇති ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කර ගැනීමට මෙවැනි තරග ඉවහල් වන බවයි.

“අපි දින ගණන පිළිබඳ කලබල විය යුතු නැහැ. තරගය උද්වේගකර ද නැද්ද කියන එකයි වඩාත් වැදගත් වෙන්නෙ.”

ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස ඕනෑම ආකාරයක මතු පිටක ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටිය යුතු බවත්, විශේෂයෙන්ම සංචාරක කණ්ඩායමක් ලෙස යම් තරගාවලියකට සහභාගී වේ නම් සිදුවීමට නියමිත දෑ තේරුම් ගෙන සිටිය යුතු බවත් Sachin විසින් අවධාරණය කරනවා.

එමෙන්ම ටෙස්ට් තරගයක වේගපන්දු යවන්නෙක් වෙනුවට දඟපන්දු යවන්නකු පන්දු යැවීම ආරම්භ කිරීමට ඒ තරම් පුදුමයට පත් වීමට දෙයක් නොවන බවයි Sachin පවසන්නේ.

මේ අතර පසුගිය වසර කිහිපය මුළුල්ලේ කොරෝනා වසංගතය නිසා ක්‍රිකට් තරගවල දී පන්දුවට ඔබ දැමීමට ඛේටය භාවිත කිරීම එරෙහිව ICCය විසින් නීති සම්පාදනය කළ අතර, වසර සියයක පමණ කාලයක් තිස්සේ පැවත ආ එම සම්ප්‍රදායට නැවත ඉඩ ලබා දිය යුති බවත් Sachin විසින් පවසා තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<