ශ්‍රී ලංකාව 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්නට නම්?

ICC Cricket World Cup 2023

21358

මෙම වසරේ අග භාගයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා මේ වන විට රටවල් හතක් සුදුසුකම් ලබා තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට අවස්ථාව හිමි වන්නේ කණ්ඩායම් දහයකට පමණක් බැවින්, තවත් කණ්ඩායම් තුනකට පමණයි එහි ඉඩ ඉතිරිව ඇත්තේ.

අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා නොමැති අතර, ලෝක කුසලානය සිහිනය සැබෑ කර ගැනීමට නම් ඉතිරි වී ඇති ස්ථාන තුනෙන් එකක් අනිවාර්යයෙන් ම ඔවුන් ඩැහැ ගත යුතු තත්වයක් උදා වී තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග ආරම්භ වී දැනට වසර තුනක පමණ කාලයක් ගෙවී ගොස් ඇති අතර මේ වන විට එම තෝරා ගැනීම් වල අවසන් අදියර වෙත පැමිණ තිබෙනවා.

රටවල් 32ක් මෙවර ලෝක කුසලානයට සහභාගී වීමේ අරමුණින් යුතුව තරග බිමට පිවිසුණු අතර, එම රටවල් කොටස් තුනකට බෙදා (Super League තරගාවලිය – කණ්ඩායම් 13, League 2 තරගාවලිය – කණ්ඩායම් 7 සහ Challenge League තරගාවලිය – කණ්ඩායම් 12) තරග පැවැත්වුනා.

මෙහි දී Super League තරගාවලිය ශ්‍රී ලංකාව ද ඇතුළු කණ්ඩායම් 13ක සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර ඉන් කණ්ඩායම් හතක් දැනටමත් මෙවර ලෝක කුසලානයට සෘජුව පිවිසීමේ අවස්ථාව උදා කර ගෙන තිබෙනවා.

දැනට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් මෙසේයි,

ඉන්දියාව (සත්කාරක දේශය), එංගලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය

මෙම Super League තරගාවලියෙන් කණ්ඩායම් අටක් සෘජුවම ලෝක කුසලාන තරගාවලිය වෙත සුදුසුකම් ලබන අතර ඉතිරි කණ්ඩායම් පහ මෙම වසරේ ජුනි මාසයේ දී සිම්බාබ්වේ දේශයේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම තරගාවලියට (Cricket World Cup Qualifier) ක්‍රීඩා කළ යුතුයි.

ඒ අනුව Super League තරගාවලිය නියෝජනය කරන සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම්වලට දැනටමත් Qualifiers තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වී ඇති අතර, Super League තරගාවලියේ තවත් කණ්ඩායම් හතරක් (ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්තය) තවමත් ලෝක කුසලානයට සෘජුව පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ වන විට Super League ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම රැඳී සිටින අතර ඔවුන්ට නියමිත සියලුම තරග අවසන් වී තිබෙනවා.

ඔවුන්ට පසුපසින් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කණ්ඩායම් සිටින අතර එයින් දකුණු අප්‍රිකාවට තවත් තරග දෙකක්, අයර්ලන්තයට සහ ශ්‍රී ලංකාවට තවත් තරග තුනක් ඉතිරිව පවතිනවා.

මෙම තරග කිහිපය අවසානයේ Super League ලකුණු සටහනේ 8 වැනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායමට ද මෙවර ලෝක කුසලානය සඳහා සෘජු සුදුසුකම් ලබා ගැනීමට හැකි වන අතර ඉතිරි කණ්ඩායම් තුනටම Qualifiers තරගාවලිය ක්‍රීඩා කිරීමට සිදු වනවා.

දැනට පවතින තත්වය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරග තුනම ජයග්‍රහණය කළ හැකි වුන හොත් කිසිදු ගැටලුවකින් තොරවම මෙවර ලෝක කුසලානය සඳහා සෘජුවම පිවිසිය හැකියි.

නමුත් එක් තරගයක් හෝ පරාජය වීමට සිදු වුවහොත් ඔවුන්ට දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රීඩා කරන ඉතිරි තරග ද්විත්වය (නෙදර්ලන්තය සමඟ) දෙස බලා හිඳීමට සිදු වනවා.

Cricket World Cup Qualifier

කෙසේ හෝ ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇති දෙවැනි සහ අවසන් අවස්ථාව වන්නේ සිම්බාබ්වේ හී පැවැත්වීමට නියමිත Qualifiers තරගාවලිය ක්‍රීඩා කිරීමයි.

Super League තරගාවලිය ක්‍රීඩා කළත්, සෘජු සුදුසුකම් ලබා ගැනීමට හැකියාව නොලැබෙන කණ්ඩායම් පහ සහ League 2 තරගාවලිය නියෝජනය කරමින් කණ්ඩායම් 3ක් ද, Qualifiers Play – Off තරගාවලිය නියෝජනය කරමින් කණ්ඩායම් 2ක් ද ලෙස සමස්ත කණ්ඩායම් 10ක් මෙම Qualifiers තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව Super League තරගාවලිය නියෝජනය කළ සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය කණ්ඩායම් ද, League 2 තරගාවලිය නියෝජනය කරමින් ස්කොට්ලන්තය, ඕමානය සහ නේපාලයත් මේ වන විට Qualifiers තරගාවලිය වෙත සුදුසුකම් ලබා සිටිනවා.

ඉහත සඳහන් කළ Qualifiers Play – Off තරගාවලිය සඳහා League 2 තරගාවලියෙන් ඉතිරි වූ කණ්ඩායම් හතරත්, Challenge League තරගාවලියේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙකත් ක්‍රීඩා කරනු ඇති.

එම තරගාවලිය මාර්තු 24 සිට අප්‍රේල් 5 දින තෙක් නැමීබියාවේ දී පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලිය සඳහා නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, පැපුවා නිව්ගිනියා, කැනඩා සහ ජර්සි කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

ඒ අයුරින් තෝරා ගැනෙන කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන Qualifiers තරගාවලියේ මුල් ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායමවලට මෙවර ලෝක කුසලානය සඳහා සහභාගී වීමට අවස්ථාව උදා වනවා.

ඒ අනුව 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා කණ්ඩායම් තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටිය ඉහත අයුරු වන අතර, මෙම සියලු තරගාවලි සියල්ල අවසානයේ කණ්ඩායම් දහයක් විසින් 2023 ICC ක්‍රිකට් ලෝක ශූරයින් වීමේ අදිටනින් යුතුව මෙම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී එකිනෙකා සමගින් තරග වැදෙනු ඇත.

2023 ICC ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<