ඩිල්ශාන් සහ චමරි 2023 ICC සම්මාන සඳහා නිර්දේශ වෙයි!

ICC Awards 2023

242
Zimbabwe Tour of Sri Lanka 2024

ගෙවුණු වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා සහ විස්සයි විස්ස ක්‍රීඩිකාව සඳහා ICCය විසින් පිරිනමන සම්මාන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඩිල්ශාන් මදුශංකගේ සහ චමරි අතපත්තුගේ නම් යෝජනා වී තිබෙනවා.

ගෙවුණු 2023 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාදක කර ගනිමින් පිරිනැමෙන සම්මාන අතුරින් වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව සහ වසරේ නැගී එන ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන සඳහා සිව් දෙනා බැගින් නම් 16ක් අද දිනයේ දී ICCය විසින් නිවේදනය කළා.

ICC වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව

මෙම සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු සමඟින් එංගලන්තයේ Sophie Ecclestone, බටහිර ඉන්දීය කොදෙව් දේශයේ Hayley Matthews සහ ඕස්ට්‍රේලියාවේ Ellyse Perry යන ක්‍රීඩිකාවන් ද නිර්දේශ ලබා තිබෙනවා.

ගෙවුණු වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි විස්ස තරග 16ක් ක්‍රීඩා කළ චමරි විසින් 31.33ක පිතිකරණ සාමාන්‍යයක් ද සහිතව ලකුණු 470ක් වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම ඇය විසින් ගෙවුණු වසරේ දී පන්දු යැවීමෙන් කඩුලු 8ක් ද බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගෙවුණු වසරේ දී ලද විශිෂ්ට ජයග්‍රහණ රැසක ම ප්‍රදාන හවුල්කාරිය බවට පත් වුනේ ද චමරි බව නොරහසක්.

ICC වසරේ නැගීඑන ක්‍රීඩකයා

මෙම සම්මානය සඳහා ඩිල්ශාන් මදුශංකට අමතරව දකුණු අප්‍රිකාවේ Gerald Coetzee, ඉන්දියාවේ Yashasvi Jaiswal සහ නවසීලන්තයේ Rachin Ravindraගේ නම් යෝජනා වී තිබෙනවා.

නිමා වූ එක්දින ලෝක කුසලානයේ දී පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ ඩිල්ශාන් එහි දී දවා ගත් කඩුලු 21ද සමඟින් සමස්ත වසරේ එක්දින තරග 15ක දී කඩුලු 31ක් දවා ගැනීමට සමත් වුනා. 24.06ක සාමාන්‍යයක් සහිතව කඩුලු දවා ගත් ඩිල්ශාන්ගේ හොඳම පන්දු යැවීම සටහන් වුනේ 5/80ක් ලෙසයි.

එමෙන්ම ඔහු විසින් ගෙවුණු වසරේ දී විස්සයි විස්ස කඩුලු 5ක් ද දවා ගැනීමට සමත් වුනා.

ICC වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා

මෙම සම්මානය සඳහා Mark Chapman (නවසීලන්තය), Alpesh Ramjani (උගන්ඩාව), Sikandar Raza (සිම්බාබ්වේ ) සහ Suryakumar Yadav (ඉන්දියාව) යන ක්‍රීඩකයින්ගේ නම් යෝජනා වී තිබෙනවා.

ICC වසරේ නැගීඑන ක්‍රීඩිකාව

මේ සඳහා Marufa Akter (බංග්ලාදේශය), Lauren Bell (එංගලන්තය), Darcey Carter (ස්කොට්ලන්තය), Phoebe Litchfield (ඕස්ට්‍රේලියාව) යන ක්‍රීඩිකාවන්ගේ නම් යෝජනා වී තිබෙනවා.

මෙම නාම යෝජනා ක්‍රිකට් හා සම්බන්ධ විශේෂඥ ලේඛකයින්, විකාශකයින් ඇතුළු නියෝජිත මඩුල්ලක් මගින් තෝරා ගනු ලබන අතර ඒවා මෙසේ හෙළිදරව් කිරීමෙන් පසු ICC නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ක්‍රිකට් රසිකයින්ට සිය මනාපය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වනවා. (අවසන් ප්‍රතිඵලය රසික මනාප සහ ICC නියෝජිත මණ්ඩලයක මනාප අනුව තීරණය වනු ඇති.)

මෙම යෝජිත සම්මානවලට අමතරව වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සහ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ඇතුළු තවත් සම්මාන 9ක් සඳහා නාම යෝජනා හෙට (04) සහ අනිද්දා (05) දින වල දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ICC නිල වෙබ් අඩවිය හෙළිදරව් කරන්නේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<