David Warnerට අවාසනාවන්ත අහිමි වීමක්!

Pakistan Tour of Australia 2023/24

9866
David Warner

සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගී වීමට සූදානමින් සිටින ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warnerගේ ඕස්ට්‍රේලියානු ටෙස්ට් කැප් තොප්පිය හිටි හැටියේ ම අතුරුදන් වී තිබෙනවා. 

ඕනෑම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ උදාරතම හැඟීම වන්නේ Baggy Green යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් තොප්පිය තම හිසේ පැලඳීමයි. 

එම තොප්පිය හිමි වීම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකුට සිය ක්‍රිකට් දිවියේ ලැබිය හැකි ඉහළම ගෞරවයක් වන අතර, 112 වැනි වතාවටත් එම ගෞරවනීය මොහොත උදා කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින David Warnerහට මෙම බලාපොරොත්තු නොවුනු අකරතැබ්බයට මුහුණ දීමට සිදු වී තිබෙනවා. 

හෙට (03) ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය වෙනුවෙන් මෙල්බර්න් සිට සිඩ්නි වෙත සිය ගමන් මළු ප්‍රවාහනය කරන අතරතුර දී David Warnerගේ Baggy Green හිස් වැස්ම සහිත බෑගය අතුරුදන් වී තිබෙනවා. 

මේ වන විට ටෙස්ට් තරග 111ක් ක්‍රීඩා කර ඇති Warner හෙට දිනයේ දී සිය අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටින අවස්ථාවක ඔහුට මෙවැනි සිදුවීමකට මුහුණ දීමට ලැබීම පිළිබඳ මුළු මහත් ක්‍රිකට් ලෝකයේ ම අවධානය ද යොමු වී තිබෙනවා. 

මෙම සිදුවීම පළමු වරට මාධ්‍ය වෙත වාර්තා වුනේ අද (02) උදෑසන David Warner විසින් සිය Instagram ගිණුම ඔස්සේ තැබූ වීඩියෝ සටහනක් සමඟයි.

 

View this post on Instagram

 

A post shared by David Warner (@davidwarner31)

“ආයුබෝවන්, මෙය තමයි මට තිබෙන අවසන් විසඳුම. 

මීට දින කිහිපයකට පෙර අපේ ගමන් මලු Qantas (ඕස්ට්‍රේලියානු ගුවන් සේවයක්) හරහා ප්‍රවාහනය කළා. අපි CCTV දර්ශන පරීක්ෂා කළා. නමුත් අපිට එයින් දකින්න නොලැබුණ ස්ථාන කිහිපයක් තියෙනවා. 

අපි Quay West හෝටලයට කතා කළා. ඔවුන්ගේ කැමරා පරීක්ෂා කළා. කවුරුවත් අපේ කාමර වලට ඇවිත් තිබුණේ නැහැ. 

නමුත් අවාසනාවකට කවුරු හරි මගේ ගමන් මලු අතරින් Baggy Green එක තිබුණු බෑගය ඉවතට අරගෙන තියෙනවා.” 

මෙම බෑගය තුළ Baggy Green තොප්පි දෙකක් තිබුණු බවයි ESPN Cricinfo විසින් සඳහන් කරන්නේ. 

මීට පෙර 2017 වසරේ දී බංග්ලාදේශය සමඟ පැවැත්වුණු ටෙස්ට් තරගාවලියට පෙර Warnerගේ Baggy Green තොප්පිය අතුරුදන් වුනා. එම නිසා ඔහුට ඒ වෙනුවෙන් අමතර තොප්පියක් ලැබුණු අතර පසුව ඔහුගේ පළමු තොප්පිය ද නිවසේ තිබී සොයා ගත්තා 

මෙවර එම තොප්පි දෙක ම අතුරුදන් වී ඇති අතර එය තමන්ට පෞද්ගලිකව ඉතා හැඟුම්බර සිදුවීමක් බවයි Warner පවසන්නේ. 

” මට එය හැඟීම්බරයි, ඒක මේ සතියේ මම ක්‍රීඩා පිටියට යද්දී මගේ අත් වල තියාගෙන ඉන්න කැමති දෙයක්. 

ඔබට අවශ්‍ය ඒ බෑග් එක නම්, මට මෙතන අමතර එකක් තියෙනවා. ඔබ අමාරුවේ වැටෙන්නේ නැහැ. 

කරුණාකරලා සමාජ මාධ්‍ය හරහා මාව හෝ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙත සම්බන්ධ වෙන්න. ඔබ මගේ Baggy Green නැවත ලබා දේ නම් මම මෙය (බෑගය) ඔබට නැවත ලබා දෙන්න කැමතියි.” 

තමන්ට නැවත සිය තොප්පිය පමණක් ලැබීම ප්‍රමාණවත් බවයි Warner පවසන්නේ. 

එමෙන්ම මේ පිළිබඳ අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානී Nick Hockley පවසන්නේ එය නැවත Warnerට හිමි වේ නම් ඔහු අවසන් ටෙස්ට් තරගයේ දී එය විශාල ආඩම්බරයකින් යුතුව පැලඳ සිටිනු දකින්නට ලැබෙනු ඇති බවයි. 

මේ අතර මේ පිළිබඳ ව අදහස් දැක්වූ පාකිස්තාන ටෙස්ට් නායක Shan Masood පවසන්නේ ඕස්ට්‍රේලියානු රජය මෙය සෙවීමට මැදිහත් විය යුතු බවයි. 

“මම හිතන්නේ ඕස්ට්‍රේලියානු රජයෙන් රට පුරා සෙවීමක් සිදු කළ යුතුයි. එය නැවත ලබා ගැනීමට අපිට හොඳම රහස් පරීක්ෂකයින් අවශ්‍ය වේවී. 

මොකද ඔහු ශ්‍රේෂ්ඨ තානාපතිවරයෙක් වූ නිසා වගේම ඔහුගේ විශිෂ්ට ක්‍රීඩා දිවිය වෙනුවෙන් සෑම ආකාරයක ම ගෞරවයක් සහ සැමරීම් ඔහු වෙනුවෙන් ලැබිය යුතුයි.” 

ඕස්ට්‍රේලියා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<