Warner එක්දින පිටියටත් සමුදෙයි

Pakistan Tour of Australia 2023/24

1038

ටෙස්ට් පිටියට සමුදීමට අමතරව තමන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ද සමුදීමට තීරණය කළ බවට ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warner විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන බදාදා (03) දිනයේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත පාකිස්තාන – ඕස්ට්‍රේලියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව Warner ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දී පමණක් දැක ගැනීමට ඉඩ ලැබෙනු ඇති.

කෙසේ වෙතත් කණ්ඩායමේ අවශ්‍යතාව අනුව තමන් 2025 ශූරයින්ගේ කුසලානය දක්වා නැවතත් එක්දින පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමට සූදානම් ව සිටින බවත් ඔහු විසින් මෙහි දී අවධාරණය කරනවා.

” මම එක්දින ක්‍රිකට් තරගවලිනුත් අනිවාර්යයෙන් ම සමු ගන්නවා. ඒක මම ලෝක කුසලානය පුරාවටමත් කියපු දෙයක්. එය (ලෝක කුසලානය) ඉන්දියාවේ දී ජයග්‍රහණය කළා. මම හිතන්නේ ඒක දැවැන්ත ජයග්‍රහණයක්.

ඉතින් මම අද ඒ තරග රටා වලින් සමු ගැනීමේ තීරණය ගත්තා. එය මට ලොව වටා ලීග් ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දෙනවා.

මම දන්නවා ඉදිරියේ දී ශූරයින්ගේ කුසලානය පැවැත්වෙන්න නියමිතයි. ඉතින් මම ඉදිරි වසර දෙකේ දී හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කළොත් ඔවුන්ට යමෙක් අවශ්‍ය වුනොත් මම ඉන්නවා.”

අද (01) උදෑසන සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී Warner විසින් මෙම ප්‍රකාශය සිදු කළා.

ඒ අනුව එළඹෙන වසර දෙකක කාලය තුළ නැවතත් Warnerගේ ආගමනයක් සිදු නොවේ නම් ඉන්දියාව සමඟ පැවැත්වුණු ලෝක කුසලාන අවසන් මහා තරගය Warnerගේ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස සටහන් වනු ඇති.

මේ වන විට 37 හැවිරිදි වියේ පසු වන David Warner මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 161ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී ලකුණු 6932ක් ලබාගැනීම සමත් වී ඇති අතර, 45.30ක පිතිකරණ සාමාන්‍යයක් ද ඔහු විසින් රඳවා ගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම ඔහු විසින් එක්දින ජාත්‍යන්තර ශතක 22ක් ලබා ගැනීමට සමත් වී ඇති අතර එය ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දෙවැනියට වැඩිම ශතක ලාභියා (Ricky Pontingට පමණක් දෙවැනි වෙමින්) ලෙස Warnerගේ නම වාර්තා පොත්වල සටහන් කරනවා. එමෙන්ම ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ හය වැනියට ඉහළම එක්දින ලකුණු ලාභියා ලෙස ද Warner විසින් සිය නාමය සටහන් කර ගෙන තිබෙනවා.

සිය එක්දින සමුගැනීම ප්‍රකාශ කිරීමට පෙර සිටම එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියට තමන් සහභාගී නොවන බව පවසමින් Warner හෙළිදරව් කළේ කොදෙව් තරගාවලිය වෙනුවට තමන් ILT20 තරගාවලිය ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් Warner එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නම් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසු වනවා. මේ වන විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 99ක් ක්‍රීඩා කර ඇති Warner විසින් එහි දී ලකුණු 2894ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

මේ අතර එළඹෙන 03 වැනි දා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයෙන් තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට නියමිත බව Warner විසින් ප්‍රකාශ කළේ මීට මාස කිහිපයකට පෙරයි. නමුත් තමන් එවැනි ප්‍රකාශය සිදු කළත්, එංගලන්තය සමඟ පැවැත්වුණු 2023 අළුබඳුන තරගාවලියේ දෙවන තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට ද තමන්ට යම් අදහසක් තිබූ බවයි warner දැන් හෙළිදරව් කරන්නේ.

දිගින් දිගටම ටෙස්ට් තරග රටාවේ දී අසාර්ථක වීම නිසා නිරන්තර විවේචනවලට බඳුන් වූ Warner විසින් අළුබඳුන තරගාවලියේ දෙවන තරගයට පෙර තමන්ට සාර්ථක ඉනිමක්/දෙකක් ක්‍රීඩා කිරීමට නොහැකි වී නම් ටෙස්ට් පිටියට සමු දීමට තීරණය කර සිටි බවයි පවසන්නේ.

නමුත් ඉන්දියාව සමඟ පැවැත්වුණු ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී මෙන්ම අළුබඳුන තරගාවලියේ පළමු තරග ද්විත්වයේ ද තරමක් හොඳ ඉනිම් කිහිපයක් ම දියත් කිරීමට සමත් වීමෙන් පසු Warner සිය හදිසි තීරණය ගැනීමෙන් වැළකී තිබෙනවා.

පාකිස්තාන – ඕස්ට්‍රේලියාව ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<