අතපත්තු මත රැදුණ 2023 කාන්තා ක්‍රිකට්

Cricket Roundup 2023

238

ගෙවී ගිය 2023 වසරේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ද අභියෝගාත්මක ගමනක නිරත වූවා. ලැබූ ඉතා අඩු තරග සංඛ්‍යාවක් මත වූව ද ඒ අභියෝගාත්මක ගමන තුළ සමරු සටහන් තැබීමට ඔවුන් සමත් වීම කැපී පෙණුනා.  

ඒ අතුරින් වඩාත් කැපී පෙණුනේ නායිකා චමරි අතපත්තු.  

2023 වසර මුල දී ම අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සිදුකරනු ලබන පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීමේ දී පළමු ස්ථානයට පත් වීමට චමරි අතපත්තු සමත් වූවා. එවැන්නකට පත් පළමු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩිකාව වූයේ ඇයයි. 

එමෙන් ම ඇයගේ දක්ෂතා වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් චමරි අතපත්තු නමින් නම් කිරීම ද 2023 වසරේ සිදු වු විශේෂිත සිදු වීමක්. එහි චමරි වෙනුවෙන් වෙන් වූ ප්‍රදේශය ‘Chamari Bay’ ලෙසින් නම් කර තිබෙනවා.  

ඊට අමතර ව ESPN cricinfo විසින් 2023 වසරට නම් කරන ලද එක්දින කාන්තා කණ්ඩායමට සේ ම විස්සයි විස්ස කාන්තා කණ්ඩායමට ද චමරි අතපත්තුගේ නම ඇතුලත් වීම විශේෂයි.  

මේ අතර 2023 වසර ආරම්භයේ දී ම ඉනෝකා රණවීර ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඇගයීමට ලක් වීම විශේෂත්වයක්. ඇය 2022 වසරේ පෑ දක්ෂතා අනුව ICC විසින් නම් කරන ලද ලෝක කාන්තා එක්දින කණ්ඩායමට නම් කෙරුණා.  

එක්දින තරග 

ගෙවී යන වසරේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ එක්දින ජාත්‍යන්තර තරග 9ක් පමණයි. ඒ සෑම තරගයක් ම 2022 -2025 ICC Women’s Championship තරගාවලියේ තරගයි.  

පැවැති තරග අතුරින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3ක් ජයග්‍රහණය කරන අතර තරග 3ක් පරාජයට පත් වෙනවා. විසඳුමකින් තොර තරග 2ක් සහ සම්පූර්ණයෙන් ම අතහැර දැමුණ තරගයක් ද ඒ අතර වෙනවා.  

  • 2023 වසරේ කාන්තා එක්දින තරග පෙළගැස්ම
ප්‍රතිවාදීන්  ප්‍රතිඵලය  ක්‍රීඩාංගණය 
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය (අප්‍රේල් – මැයි) 
  විසඳුමක් නැහැ.  P. Sara Oval, කොළඹ 
  වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.  P. Sara Oval, කොළඹ 
  ශ්‍රී ලංකාවට ලකුණු 58ක ජයක්.   SSC, කොළඹ 
නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය (ජුනි – ජුලි) 
  ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්. (DLS)  ගාල්ල 
  නවසීලන්තයට ලකුණු 116ක ජයක්.   ගාල්ල 
  ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. (DLS)  ගාල්ල 
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එංගලන්ත සංචාරය (සැප්තැම්බර්) 
  එංගලන්තයට කඩුලු 7ක ජයක්.   Chester-le-Street 
  විසඳුමක් නෑ.  Northampton 
  එංගලන්තයට ලකුණු 161ක ජයක්.   Leicester 

415: ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය වන්නේ චමරි අතපත්තු. ඇය තරග 8ක දී ලකුණු 415ක් ලබා ගන්නා ලද අතර ඊට ශතක 2ක් සහ අර්ධ ශතකයක් ද ඇතුලත්.  

මෙම ලැයිස්තුවට ඊට පසුව එක් වෙන්නේ තරග 8ක දී ලකුණු 146ක් ලබා ගත් කවීෂා දිල්හාරි සහ තරග 7ක ලකුණු 107ක් ලබා ගත් විෂ්මි ගුණරත්න.  

Chamari Atapaththu140: චමරි අතපත්තු විසින් නවසීලන්තයට එරෙහිව පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 9ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 140, 2023 කාන්තා එක්දින තරග ඉතිහාසයේ හොඳම ඉනිම බවට පත් වුනා.  

21: එමෙන් ම ලෝක එක්දින තරගවල වසරේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩිකාව ලෙසින් ද චමරි අතපත්තු පත් වුනා. ඇය බංග්ලාදේශයට එරෙහිව හයේ පහර 6ක්, නවසීලන්තයට එරෙහිව හයේ පහර 14ක් සහ එංගලන්තයට එරෙහිව හයේ පහරක් එල්ල කරමින් මෙම කඩඉමට පිවිසියා.  

2×100: චමරි අතපත්තු නවසීලන්තයට එරෙහිව ශතක 2ක් වාර්තා කරමින් එක් වසරක් තුළ ශතක 2ක් වාර්තා කළ පළමු අවස්ථාවට එළැඹියා. 

10: නිමා වූ වසරේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වැඩිම කඩුලුලාභිනිය වන්නේ ඕෂදී රණසිංහ. ඇය තරග 8ක දී පන්දුවාර 34.0ක් යවමින් කඩුලු 10ක් දවා ගන්නවා.  

ඊට අමතර ව තරග 8ක දී කඩුලු 5ක් බැගින් ලබා ගත් කවීෂා දිල්හාරි සහ ඉනෝකා රණවීර මේ ලැයිස්තුවට එක් වෙනවා.  

5/34: ඕෂදී රණසිංහ ගෙවී ගිය වසරේ දී මෙරට පන්දු යවන්නියන් අතුරින් පෑ ඉහළ ම දක්ෂතාව දැක්වීමට ද සමත් වෙනවා. ඇය බංග්ලාදේශයට එරෙහිව පන්දුවාර 6ක දී ලකුණු 34කට කඩුලු 5ක් දවා ගනිමින් මෙම දක්ෂතාව දැක් වූවා. මෙම දක්ෂතාව එක්දින තරග පිටියේ ඇය සතු හොඳම පන්දු යැවීම ද වෙනවා.  

විස්සයි විස්ස තරග පිටිය 

ශ්‍රී ලංකාව ගෙවී ගිය වසරේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 16කට ක්‍රීඩා කරන අතර ඉන් තරග 9ක් ජය ගනිද්දී තරග 7ක් පරාජයට පත් වෙනවා. මේ අතර ඔවුන් චීනයේ දී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වීම ද කැපී පෙණෙනවා.  

  • 2023 වසරේ කාන්තා විස්සයි විස්ස තරග පෙළගැස්ම
ප්‍රතිවාදීන්  ප්‍රතිඵලය  ක්‍රීඩාංගණය 
ICC Women’s T20 World Cup 2023 (පෙබරවාරි) 
දකුණු අප්‍රිකාව  ශ්‍රී ලංකාවට ලකුණු 3ක ජයක්.  Cape Town 
බංග්ලාදේශය  ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.   Cape Town 
ඔස්ට්‍රේලියාව  ඔස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්.   Gqeberha 
නවසීලන්තය  නවසීලන්තයට ලකුණු 102ක ජයක්.   Paarl 
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය (මැයි)  
  බංග්ලාදේශයට කඩුලු 6ක ජයක්.   SSC 
  ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.   SSC 
  ශ්‍රී ලංකාවට ලකුණු 44ක ජයක්.   SSC 
නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය (ජුලි)  
  නවසීලන්තයට කඩුලු 5ක ජයක්.   P. Sara Oval 
  නවසීලන්තයට කඩුලු 5ක ජයක්.   P. Sara Oval 
  ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.   P. Sara Oval 
ශ්‍රී ලංකා කාන්තාවන්ගේ එංගලන්ත සංචාරය (අගෝස්තු – සැප්තැම්බර්) 
  එංගලන්තයට ලකුණු 12ක ජයක්. (DLS)  Hove 
  ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.   Chelmsford 
  ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.   Derby 
Asian Games Women’s Cricket Competition (සැප්තැම්බර් – චීනයේ දී) 
තායිලන්තය  ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.   Hangzhou 
පාකිස්තානය  ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්.   Hangzhou 
ඉන්දියාව   ඉන්දියාවට ලකුණු 19ක ජයක්.   Hangzhou 

470: නිමා වූ වසරේ දී විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණුලාභිනිය වූයේ චමරි අතපත්තු. ඇය තරග 16කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 470ක් ලබා ගත්තා.  

එහි දෙවැනි ස්ථානය හර්ෂිතා මාධවී සතු කර ගන්නේ තරග 15ක ඉනිම් 14ක දී ලකුණු 456ක් ලබා ගනිමින් වන අතර, තෙවැනි ස්ථානය තරග 16ක ඉනිම් 12ක දී ලකුණු 249ක් ලබා ගත් නිලක්ෂිකා ද සිල්වා සතු කර ගත්තා.

Inoka Ranaweera20: විස්සයි විස්ස පිටියේ 2023 වසරේ වැඩිම කඩුලුලාභිනිය වන්නේ ඉනෝකා රණවීර. ඇය තරග 16ක දී පන්දුවාර 57.2ක් යවමින් කඩුලු 20ක් ලබා ගනිමින් එම ස්ථානයට පත් වෙනවා.  

එහි 2 වැනි ස්ථානය තරග 11ක දී කඩුලු 15ක් ලබා ගත් උදේශිකා ප්‍රබෝධනී ද සහ තෙවැනි ස්ථානය තරග 15ක දී කඩුලු 13ක් ලබා ගත් කවිෂා දිල්හාරි සතු වුනා.  

මේ දක්ෂතා කිරා මැන බැලීමේ දී අපට තව දුරටත් සාක්ෂාත් වෙන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව රැදී පවතින්නේ අතලොස්සක් වූ ක්‍රීඩිකාවන් මතය යන්නයි. මෑත කාලීන ව පැවැති අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය හරහා ක්‍රීඩිකාවන් වැඩි ප්‍රමාණයක් මතු වූව ද ඔවුන්ගේ දක්ෂතා ද ස්ථාවර මට්ටමකට පැමිණි අයුරක් දකින්නට හැකි වූයේ නැහැ.  

එසේ නොවී ස්ථාවර ගමනකට ආරම්භයක් ගත නොහැකියි. එබැවින් එළැඹී මේ වසරේ දී සෑම ක්‍රීඩිකාවකගේ ම අභිප්‍රාය විය යුත්තේ තම දක්ෂතා ස්ථාවර මට්ටමේ තබා ගැනීමයි.   

උදාවෙන 2024 වසරේ දී එවන් නැවුම් ගමනක් යෑමට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට හැකිවේවායි ThePapare.com හී සුබ පැතුම්! 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<