ක්‍රීඩකයින් තිදෙනෙක් දෙවැනි ටෙස්ට් තරගයෙන් හැලේ!

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

2493

ශ්‍රී ලාංකික පිට දඟපන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා, දකුණත් දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සහ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හට, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත, දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී ගොස් තිබෙනවා. ඒ ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසාවෙනුයි.

මොවුන් සියලු දෙනා හට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන්නේ ඊයේ (06) සිදු කළ Rapid Antigen පරීක්ෂාවකින් අනතුරුවයි. මේ නිසාවෙන් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සහ සහය කාර්ය මණ්ඩලය ද Rapid Antigen පරීක්ෂා සඳහා යොමු කර ඇති අතර ඔවුන් කිසිවෙකුට වයිරසය ආසාදනය වී නොමැති බව පසුව තහවුරු වී තිබෙනවා.

වයිරසය ආසාදනය වූ ක්‍රීඩකයින් තිදෙනා වෙනම හෝටලයක් වෙත මාරු කර ස්වයං නිරෝධායනයට ලක් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර වයිරසය ආසාදනය වූ බවට හඳුනා ගත් වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද එම හෝටලය වෙත මාරු කර යවා තිබෙනවා. Chinaman පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ආදේශක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීම නියමිත දෙවැනි ටෙස්ට් තරගය හෙට (08) ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත අතර ප්‍රථම ටෙස්ට් තරගය ජයග්‍රහණය කරමින් සංචාරකයින් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ දිනා ගෙන සිටිනවා.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com  සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<