Keshav Maharajගේ දඟපන්දුව ශ්‍රී ලංකා සිහින බොඳ කරයි

Sri Lanka Tour Of South Africa 2024

72
Sri Lanka Tour Of South Africa 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 109ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව අද (09) සමත් වුනා.

ඊයේ (08) දිනයේ තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 348ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මෙහි දී නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාම ලකුණු 39 බැගින් ලබා ගැනීමට සමත් වී සිටි අතර, අද තරගය ආරම්භ වී සුළු මොහොතකින් කුසල්  ලකුණු 46කටත්, ධනංජය ලකුණු 50කටත් දැවී යාමත් සමඟ ශ්‍රී ලංකාව ජයග්‍රහණය පිළිබඳ තැබූ බලාපොරොත්තු සියල්ල බොඳ වී යාමට පටන් ගත්තා.

ඉන් පසුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ට ද එතරම් සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට හැකියාවක් නොලැබුණු අතර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 238කට සීමා කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මෙහි දී ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමේ මූලිකත්වය ගත් Keshav Maharaj විසින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අනුව තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 109ක පරාජයක් අත් විඳීමට සිදු වූ අතර, ඒත් සමඟම තරගාවලිය ද 2-0ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

තරගයේ වීරයා ලෙස Dane Paterson සම්මාන දිනා ගැනීමට සමත් වූ අතර, තරගාවලියේ වීරයා ලෙස Temba Bavuma විසින් සම්මාන දිනා ගත්තා.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට විශාල කඩ ඉමක් වූ නමුත්, මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දැඩි ලෙස හානි වී ගියා.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<