“2023 ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකා සංචාරය හොඳ පුහුණුවක්” – Mitchell Swepson

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

821

ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව හමුවේ පසුගිය දා වාර්තා කළ ජයග්‍රහණ සහ පාකිස්තානයේ දී ලබා ගත් ජයග්‍රහණය සමඟින් තම කණ්ඩායම විශිෂ්ට සූදානමකින් ලබන වසරේ ඉන්දියාවේ දී තරග බිමට පිවිසෙන බවත්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ඉලක්කය වන ඉන්දීය තරගාවලිය සාර්ථක වනු ඇතැයි එරට දඟපන්දු යවන ක්‍රීඩක Mitchell Swepson පසුගිය දා පවසා සිටියා.

Mitchell Swepson, Nathan Lyon සමඟ එක්ව පසුගිය සතියේ පැවති ආරම්භක ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා. එම ජයග්‍රහණයත් සමඟින් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණා.

Pat Cumminsගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියාව දඟපන්දු යවන්නන්ට පාරාදීසයක් වූ ගාල්ල තණතීරුව තුළ දින තුනක් ඇතුළත තරගය නිමා කිරීමට සමත් වුනේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථක වීමට කිසිදු ඉඩක් ලබා නොදෙමින්.

මෙම ජයග්‍රහණයට පෙර පසුගිය මාර්තු මාසයේ දී පාකිස්තානයේ දී පාකිස්තාන කණ්ඩායම 1-0ක් ලෙස පරාජය කිරීමටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.

පැහැදිලිවම මගේ මූලික අවධානය තියෙන්නේ ඉන්දියාව දෙසට. ඉන්දීය තරගාවලිය නියත වශයෙන්ම මගේ ප්‍රධාන ඉලක්කයක්. ඉන්දියාවේ දී ඉන්දීය තරගාවලියක් ජයග්‍රහණය කරන එක මගේ වගේම මෙම කණ්ඩායමේම ඉලක්කයක්. ඉන්දීය තරගාවලිය ජයග්‍රහණය කිරීම විශ්මයජනක වේවි”, Mitchell Swepson මාධ්‍යවේදීන් අමතමින් පවසා සිටියා.

නමුත් ඊට පෙර අපිට ටෙස්ට් තරග කීපයක් තියනවා. වේගපන්දු යවන්නන්ට වඩාත් හිතකර තත්වවල තරග කීපයක් තියනවා. මම හිතන විදිහට නම් එය හොඳ පෙර සූදානමක්”, ඔහු පවසනවා.

ඕස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගකරුවන් දෙදෙනා තීරණය කළ හැකි ඉහළ පෙළේ තරග මාලාවක් සඳහා 2023 පෙබරවාරි සහ මාර්තු මාසවල දී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි. එයට ටෙස්ට් තරග 4ක් ඇතුළත් වනවා. ඕස්ට්‍රේලියාව අවසන් වරට ඉන්දියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කර ඇත්තේ 2004-05 වසරේ දීයි.

ඕස්ට්‍රේලියාව පසුගිය දා වාර්තා කළ ජයග්‍රහණයත් සමඟින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණට පැමිණීමට සමත් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා (8) ආරම්භ වීමට නියමිතයි.

පාකිස්තානයේ දී සහ ශ්‍රී ලංකාවේ දී වාර්තා කළ ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් Mitchell Swepson පවසා සිටියේ මෑත කාලයේ ඔවුන් ලබා ගත් ජයග්‍රහණ කණ්ඩායම ඉන්දීය අභියෝගයට සූදානම් කර ඇති බවයි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අත්විඳීම ඉතා හොඳ සූදානමක්. පාකිස්තාන සංචාරය මට පෞද්ගලිකව දුෂ්කර සංචාරයක් වුනා. නමුත් මම එම ටෙස්ට් තරග දෙක එහි ක්‍රීඩා නොකළා නම්, මට ශ්‍රී ලංකාව සමඟින් පැවති පළමු ටෙස්ට් තරගයේ දී මෙතරම් බලපෑමක් කරන්න බැරි වෙනවා. එබැවින් මම හිතනවා අපි ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම දේවල් ඉගෙන ගන්නවා කියලා”

Mitchell Swepson පාකිස්තානයේ දී ක්‍රීඩා කළ සිය මංගල සංචාරයේ දී තරග දෙකක දී දවාගෙන තිබුණේ කඩුලු දෙකක් පමණයි. නමුත් ශ්‍රී ලංකාව සමඟින් පැවති ආරම්භක තරගයේ දී කඩුලු පහක් දවා ගැනීමට ඔහු සමත් වුනා.

මේ වන විට 28 හැවිරිදි Mitchell Swepson මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ චෙන්නායි හි MRF ඇකඩමියේ පුහුණුවීම් සඳහා සහභාගී වූ බ්‍රිස්බේන් ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේ (NCC) කණ්ඩායමක සාමාජිකයෙකු වනවා.

ඔහුගේ මෑත කාලීන සාර්ථකත්වයට ප්‍රධාන හේතුව පන්දු යැවීමේ දී ඔහුගේ මැණික් කටුව පවතින ස්ථානය, squarer seam පන්දු යැවීම සහ මන්දගාමී සහ දඟ කැවෙන තණතීරු මත වසර ගණනාවක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් බව ඔහු පවසා සිටියා.

මේ වගේ සෙමින් දඟ කැවෙන තණතීරුවක් සහිත තරගයක දී මගේ squarer seam පන්දු යැවීම ක්‍රියාත්මක කිරීමට මට හැකි වූ පළමු අවස්ථාව මේක වෙන්න පුළුවන්”, ඔහු පවසා සිටියා.

මම ඇත්තටම මේ ආකාරයේ තණතීරු මත බොහෝ පුහුණුවීම් කරලා තියනවා. එය 2016-17 වසරේ තිබුණු ඉන්දියාවේ MRF ඇකඩමියේ පුහුණුවීම් වෙත ගිය කාලය දක්වාම දිව යනවා”, Mitchell Swepson පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<