ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට දඟපන්දු යවන්නෙක් කැඳවයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1148

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා වමත් දඟපන්දු යවන ශ්‍රී ලාංකික ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කැඳවා තිබෙනවා.

මේ වන විට 30 වැනි වියේ පසුවන ප්‍රභාත් පළමු පෙළ තරග 62ක් තුළ 25.62ක සාමාන්‍යයක් සමඟ කඩුලු 234ක් දවා ගැනීමට සමත්ව තිබෙන අතර නිමා වූ ජාතික සුපිර් ලීග් සිව්දින තරගාවලියේ තරග 4ක් තුළ කඩුලු 26ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ද ඔහු සමත් වුනා.

ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු තරගයේ දී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම (කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා) සංචිතයෙන් ඉවත් කිරීමෙන් පසුව ඒ සඳහා මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ කැඳවීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළා.

එම කැඳවීමෙන් පසු, තරගයට දින දෙකකට පෙර තවත් වමත් දඟපන්දු යවන්නෙකු ලෙස ප්‍රභාත් කණ්ඩායමට එක්කර ගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය ජූලි 08 සිට 12 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර පෙර තරගයේ ලැබූ කඩුලු 10ක පහසු ජයත් සමඟ තරගාවලිය 1-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පෙරමුණේ පසුවනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<