අභියෝග, කලබැගෑනි අස්සේ ගෙවී ගිය 2023 ක්‍රිකට් පිටිය

Cricket Roundup 2023

154

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගැන වඩාත් කතා බහට ලක්වූ 2023 වසර ගෙවී යමින් නව වසරක් එළැඹෙමින් පවතිනවා. ගෙවී ගිය වසර තරම් ක්‍රිකට් ක්‍රීඩාව අභියෝගයට ලක් වූ වසරක් නොවූ තරම් මෙන් ම සිදු වූ කලබැගෑනි ද නිමක් නොවූ අතර එවා මේ දක්වා ද වරින් වර මතුවෙමින් පවතිනවා.  

එය ක්‍රීඩාවේ යම් හෝ ප්‍රගතියකට හේතු වේ නම්, එය වඩාත් සුරක්ෂිත කර ගත යුතුයි. නමුත් නිමා වූ සිදුවීම් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනයට හේතු වී යැයි සිතිය නොහැකියි. එබැවින් ඒ මත ම සිටීම ගෝචර නොවේ. අප සිත් රිදෙන එම අමාරු මතකයන් අමතක කර, නව වසරේ දී නව ගමනක් යෑමට පෙළ ගැසිය යුතුයි, යන්න ලියුම්කරුගේ විශ්වාසයයි.   

එමෙන් ම තැන තැන සිදු වූ අමිහිරි මතකයන් නැවත හිස එසවීමට කරනු ලබන තැත් කිරීම් ද වලක්වා ගත යුතුයි. එම යෝජනාව සටහන් වෙන්නේ, ක්‍රීඩාවේ ප්‍රගමනයක් දැකීමට තිබෙන ආශාව පෙරදැරිවයි.  

එසේ සිතමින්, ගෙවී යන වසරේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර පිටියේ සිදු වු සුවිශේෂී සිදුවීම් ගැන කෙරෙන පසු විපරමක් මේ.   

  • ටෙස්ට් තරග

ශ්‍රී ලංකාව ගෙවී යන වසරේ දී ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 6ක් පමණක් වන අතර ඉන් තරග 2ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන අතර සෙසු තරග 4 නිමා වෙන්නේ පරාජය වෙමිනුයි.  

ජය ගන්නා ලද ලද තරග 2 ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහි දී ශ්‍රී ලංකාව ගෙවී ගිය වසරේ දී ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් ලබා ගත් ඉහළ ම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වීම ද කැපී පෙණුනා. ඒ අයර්ලන්තයට එරෙහිව ඉනිමක සහ ලකුණු 280ක ජයක් ලබා ගනිමිනුයි.  

ශ්‍රී ලංකාව නිමා වූ වසරේ දී ටෙස්ට් තරග පිටියට පිවිසෙන්නේ මාර්තු මාසයේ සිට ජුලි මාසය දක්වා පමණක් වූ අතර තරග 2ක් මෙරට සත්කාරකත්වයෙන් ද සහ ඉතිරි තරග 4 සංචාරක තරග ලෙසින් ද ඉතිහාසයට එක් වුනා.  

  • 2023 වසරේ ටෙස්ට් තරග පෙළගැස්ම
  ප්‍රතිවාදීන්  ප්‍රතිඵලය  ක්‍රීඩාංගණය 
1  නවසීලන්තය  නවසීලන්තයට කඩුලු 2ක ජයක්.   Christchurch 
2  නවසීලන්තය  නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 58ක ජයක්.   Wellington 
3  අයර්ලන්තය  ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 280ක ජයක්.   ගාල්ල 
4  අයර්ලන්තය  ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 10ක ජයක්.   ගාල්ල 
5  පාකිස්තානය  පාකිස්තානයට කඩුලු 4ක ජයක්.   ගාල්ල 
6  පාකිස්තානය  පාකිස්තානයට ඉනිමක සහ ලකුණු 222ක ජයක්.   SSC, කොළඹ 

 

100: අයර්ලන්තයට එරෙහිව පැවැති 2 වැනි තරගයෙන් ජයගත් ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 100 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට ද සමත් වෙනවා. මේ සඳහා ඔවුන් ඒ වෙද්දී තරග 311කට සහභාගී වී සිටි අතර ඒ අනුව ඉතා ඉක්මනින් ම එම කඩඉමට ලඟා වූ ආසියාතික රට ලෙසින් ද ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයට එක් වූවා. එතෙක් එහි රැදී සිටියේ තරග 320කට සහභාගී වී සිටිමින් මෙම කඩඉමට පිවිසි පාකිස්තානයයි.  

608: නිමා වූ වසරේ දී මෙරට ක්‍රීඩකයන් අතුරින් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූයේ දිමුත් කරුණාරත්න. ඔහු තරග 6ක ඉනිම් 10ක දී ලකුණු 608ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය ලෙසින් දැක් වෙන්නේ 60.80ක් වන අතර ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් ඇතුලත් වුනා.  

ඊට අමතර ව කුසල් මෙන්ඩිස් ලකුණු 586ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 486ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන අතරට එක් වුනා.  

245: වසරේ හොඳම ටෙස්ට් ඉනිම වාර්තා කරන්නේ කුසල් මෙන්ඩිස්. ඒ ඔහු පන්දු 291කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 11ක් සමඟින් අයර්ලන්තයට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 245යි. මෙම ඉනිම කුසල් මෙන්ඩිස්ගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් ද ඉතිහාසයට එක් වුනා.  

30: ගෙවී ගිය වසරේ දී මෙරට ක්‍රීඩයන් අතුරින් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා වූයේ ප්‍රභාත් ජයසූරිය. ඔහු තරග 6ක පන්දුවාර 290.3ක් යවමින් ලකුණු 989කට කඩුලු 30ක් දවා ගන්නවා. 

 එහි දෙවැනි ස්ථානය තරග 4ක දී පන්දුවාර 180.5ක් යවමින් ලකුණු 625කට කඩුලු 17ක් ලබා ගත් රමේෂ් මෙන්ඩිස් ද සහ තෙවැනි ස්ථානය තරග 5ක දී පන්දුවාර 141.0ක් යවමින් ලකුණු 523කට කඩුලු 15ක් දවා ගත් අසිත ප්‍රනාන්දු ද සතු කර ගන්නවා.  

7/52 (23.0): වසරේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ප්‍රභාත් ජයසූරිය. ඒ අයර්ලන්තයට එරෙහිව පෑ දක්ෂතාවයි. මෙම පන්දු යැවීම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් ද සටහන් වූවා.  

50: අඩු ම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු අර්ධ ශතකයක් ලබා ගත් ලෝකයේ දඟ පන්දු යවන්නන් අතුරින් පළමු අසුනට පත් වීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූවේ ද මේ වසරේදීයි. ඒ වෙනුවෙන් ඔහු වැය කරන ලද්දේ තරග 7ක ඉනිම් 13ක් පමණයි. 

එක්දින තරග

2023 වසරේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින තරග කැලැන්ඩරය ආරම්භය සේ ම අවසානය ද සිදු වෙන්නේ ඉන්දියාවේ දී. මේ අතර කාලයේ දී ඔවුන් තරග 32කට මුහුණ දෙන අතර ඉන් තරග 16ක් ජයග්‍රහණය කරන අතර තරග 15ක් පරාජය වෙනවා. එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමෙනවා.  

කෙසේ වෙතත් නිමා වෙමින් පවතින වසරේ දී පැවැති 13 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට පෙර සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ද සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූවා.   

ඒ අනුව සහභාගී වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔවුන් අවසන් කරන්නේ 8 වැනි ස්ථානයට පත් වෙමින්.   

ප්‍රතිවාදීන්  ප්‍රතිඵලය  ක්‍රීඩාංගණය 
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය (ජනවාරි) 
  ඉන්දියාවට ලකුණු 67ක ජයක්.  Guwahati 
  ඉන්දියාවට කඩුලු 4ක ජයක්.  Eden Gardens 
  ඉන්දියාවට ලකුණු 317ක ජයක්   Thiruvananthapuram 
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය (මාර්තු) 
  නවසීලන්තයට ලකුණු 198ක ජයක්.  Auckland 
  තරගය අතහැර දැමුණා.   Christchurch 
  නවසීලන්තයට කඩුලු 6ක ජයක්.   Hamilton 
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ මෙරට සංචාරය (ජුනි) 
  ඇෆ්ගනිස්තානයට කඩුලු 6ක ජයක්.  හම්බන්තොට 
  ශ්‍රී ලංකාවට ලකුණු 132ක ජයක්.   හම්බන්තොට 
  ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්.   හම්බන්තොට 
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය – සිම්බාබ්වේ (ජුනි – ජූලි) 
UAE  ශ්‍රී ලංකාවට ලකුණු 175ක ජයක්.  Bulawayo 
ඕමානය  ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.   Bulawayo 
අයර්ලන්තය  ශ්‍රී ලංකාවට ලකුණු 133ක ජයක්.   Bulawayo 
ස්කොට්ලන්තය  ශ්‍රී ලංකාවට ලකුණු 82ක ජයක්.   Bulawayo 
නෙදර්ලන්තය  ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක්.   Bulawayo 
සිම්බාබ්වේ   ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්.   Bulawayo 
බටහිර ඉන්දීය කොදෙව්  ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.   Harare 
නෙදර්ලන්තය  ශ්‍රී ලංකාවට ලකුණු 128ක ජයක්.   Harare 
ආසියානු කුසලාන – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය (අගෝස්තු – සැප්තැම්බර්) 
බංග්ලාදේශය  ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්.   පල්ලෙකැලේ 
ඇෆ්ගනිස්තානය  ශ්‍රී ලංකාවට ලකුණු 2ක ජයක්.   Lahore 
බංග්ලාදේශය  ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක්.   RPS, කොළඹ 
ඉන්දියාව   ඉන්දියාවට ලකුණු 41ක ජයක්.   RPS, කොළඹ 
පාකිස්තානය   ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්. (DLS)  RPS, කොළඹ 
ඉන්දියාව   ඉන්දියාවට කඩුලු 10ක ජයක්.   RPS, කොළඹ 
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – ඉන්දියාව (ඔක්තෝබර් – නොවැම්බර්) 
දකුණු අප්‍රිකාව   දකුණු අප්‍රිකාවට ලකුණු 102ක ජයක්.  Delhi 
පාකිස්තානය   පාකිස්තානයට කඩුලු 6ක ජයක්.   Hyderabad 
ඕස්ට්‍රේලියාව  ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්.   Lucknow 
නෙදර්ලන්තය  ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්.   Lucknow 
එංගලන්තය  ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.  Bangaluru 
ඇෆ්ගනිස්තානය  ඇෆ්ගනිස්තානයට කඩුලු 7ක ජයක්.  Pune 
ඉන්දියාව  ඉන්දියාවට ලකුණු 302ක ජයක්.   Wankhede 
බංග්ලාදේශය  බංග්ලාදේශයට කඩුලු 3ක ජයක්.  Delhi 
නවසීලන්තය  නවසීලන්තයට කඩුලු 5ක ජයක්.   Bangaluru 

 

400: ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 400 වැනි ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වෙන්නේ මේ වසරේ ජුනි මාසයේ දී මෙරට සංචාරය කළ ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබා ගත් ජයග්‍රහණයත් සමඟිනුයි.  

437: ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ 2 වැනි තරගයෙන් ලත් පරාජයත් සමඟින් ශ්‍රී ලංකාව එක්දින තරග පිටියේ වැඩිම පරාජයන් ප්‍රමාණයකට මුහුණ දුන් කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් වුනා. ඒ වෙද්දී ඔවුන් තරග 880කට මුහුණ දී සිටියා.  

96: එක්දින තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලැබූ වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයේ වාර්තාව ද එම තරගයේ දී ඉන්දියාව සතු කර ගන්නවා. ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ ඕස්ට්‍රේලියාව විසින් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කළ තරග 95යි. 

317: ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 317ක පරාජයකට මුහුණ දීමට සිදු වූ අතර එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දරුණුත ම පරාජය ලෙසින් ඉතිහාසයට එක් වූවා.  

428/5 (50.0): ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාව විසින් ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව මෙම වසරේ දී එක්දින ජාත්‍යන්තර පිටියේ වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

50/10 (15.2): ආසියානු කුසලානයේ දී ඉන්දියාව හමුවේ ලකුණු 50කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ පෑ දුර්වල ම ඉනිම ලෙසින් ඉතිහාසයට එක් වුනා.  

4(-100): ශ්‍රී ලංකාව ගෙවී ගිය වසරේ දී ප්‍රතිවාදීන් හමුවේ අවස්ථා 4කදී ලකුණු 100කට අඩුවෙන් දැවී යනවා. ඒ ඉන්දියාව හමුවේ 50කට,55කට සහ 73කට. නවසීලන්තය හමුවේ ලකුණු 76කට ලෙසයි.  

1151: ගෙවී ගිය වසරේ දී පැතුම් නිස්සංක තරග 29කට මුහුණ දෙමින් ලකුණු 1151ක් ලබා ගන්නා ලද අතර එය මෙරට පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.  

ඊට අමතර ව කුසල් මෙන්ඩිස් තරග 31ක දී ලකුණු 893ක් ද සහ සදීර සමරවික්‍රම තරග 25ක දී ලකුණු 850ක් ද ලබා ගනිමින් මෙම ලැයිස්තුවට එක් ව සිටිනවා. 

122: මෙම වසරේ දී එක්දින ජාත්‍යන්තර පිටියේ දී ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වෙන්නේ කුසල් මෙන්ඩිස්. ඒ පාකිස්තානයට එරෙහිව පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් සමගින් ලබා ගත් ලකුණු 122යි. එය ඔහුගේ එක්දින තරග පිටියේ හොඳම ඉනිම බවට ද පත් වුනා.   

37: ගෙවී ගිය වසරේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා වූයේ මහීෂ් තීක්ෂණ. ඔහු තරග 23ක දී පන්දුවාර 191.3ක් යවමින් ලකුණු 923කට කඩුලු 37ක් දවා ගන්නවා. ඊට අමතර ව තරග 15ක දී පන්දුවාර 122.2ක දී ලකුණු 746කට කඩුලු 31ක් දවා ගත් ඩිල්ශාන් මධුශංක සහ තරග 14ක දී පන්දුවාර 112.4ක දී ලකුණු 571කට කඩුලු 28ක් ලබා ගත් වනිඳු හසරංග ද මෙම ලැයිස්තුවට එක් වෙනවා.  

  • විස්සයි විස්ස තරග

ශ්‍රී ලංකාව ගෙවී යන වසරේ දී සහභාගී වූයේ විස්සයි විස්ස තරග 7කට පමණයි. ඒ අතුරින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය සහ නවසීලන්ත සංචාරයක තරග 6කට සහභාගී වෙන අතර අතර චීනයේ පැවැති Asian Games හී ක්‍රිකට් ඉසව්ව සඳහා වෙන ම කණ්ඩායමක් ද යොමු කරනවා.  

ප්‍රතිවාදීන්  ප්‍රතිඵලය  ක්‍රීඩාංගණය 
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය (ජනවාරි) 
  ඉන්දියාවට ලකුණු 2ක ජයක්.   Wankhede 
  ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්.   Pune 
  ඉන්දියාවට ලකුණු 91ක ජයක්.  Rajkot 
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය (අප්‍රේල්) 
  ලකුණු සම වී අවසන්  Auckland 
  නවසීලන්තයට කඩුලු 9ක ජයක්.   Dunedin 
  නවසීලන්තයට කඩුලු 4ක ජයක්.   Queenstown 
Asian Games Men’s Cricket Competition, චීනය (ඔක්තෝබර්) 
ඇෆ්ගනිස්තානය  ඇෆ්ගනිස්තානයට ලකුණු 8ක ජයක්.   Hangzhou 

 

56*(22): ශ්‍රී ලංකා පිතිකරුවෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට දසුන් ශානක සමත් වූයේ මේ වසරේදීයි. ඒ ඉන්දියාවට එරෙහිව Pune හි දී පන්දු 22ක දී නොදැවී ලකුණු 56ක් ලබා ගනිමින්.  

211: කුසල් මෙන්ඩිස් තරග 6ක දී ලකුණු 211ක් ලබා ගනිමින් මේ වසරේ දී විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුනා.  

එහි 2 වැනි ස්ථානය තරග 6ක දී ලකුණු 162ක් ලබා ගත් චරිත් අසලංක ද සහ තෙවැනි ස්ථානය තරග 6ක දී ලකුණු 147ක් ලබා ගත් දසුන් ශානක ද සතු වුනා. 

73: මේ වසරේ දී පිතිකරුවෙක් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද කුසල් මෙන්ඩිස් සතු කර ගන්නවා. ඒ නවසීලන්තයට එරෙහිව පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලබා ගත් ලකුණු 73යි.   

6: විස්සයි විස්ස පිටියේ කඩුලුලාභියා වන්නේ ඩිල්ශාන් මධුශංක. ඔහු තරග 5ක දී පන්දුවාර 16.0ක් යවමින් කඩුලු 6ක් ලබා ගනිමින් එම ස්ථානයට පත් ව තිබෙනවා. ඊට අමතර ව තරග 6ක දී පන්දුවාර 22.0ක් යවමින් කඩුලු 5ක් දවා ගත් වනිඳු හසරංග 2 වැනි ස්ථානයට ද සහ තරගයක දී කඩුලු 4ක් දවා ගත් නුවන් තුෂාර තෙවැනි ස්ථානයට ද පත් වෙනවා.  

4/17: නුවන් තුෂාර විසින් Asian Games තරගාවලියේ දී ඇෆ්ගනිස්තානට එරෙහිව පන්දුවාර 3ක් යවමින් ලකුණු 17කට දවා ගත් කඩුලු 4 මේ වසරේ මෙරට පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට පත් වුනා.  

මේ ලෙසින් ගෙවී ගිය 2023 වසර අපට බොහෝ පාඩම් කියා දී නිහඬ ව නික්ම යනවා. ඒ තුළ ජය – පරාජයන් මෙන් ම නින්දා – අපහාස ද ඇති තරම් තිබූ බැව් කවුරුත් දන්නා දෙයක්. නිමා වූ එම සිදුවීම් කිසිවක් නැවත පිළිසකර කිරීමට අප කිසිවෙක්ටත් හැකියාවක් නැහැ. නමුත් නැවත එවැන්නක් සිදු වීමට ඉඩ නොදීමේ හැකියාවන් අප සතුයි. මේ නව වසරේ අප යොමු විය යුත්තේ ඊටයි.  

එබැවින් අප සැවොම එක් වී 2024 වසර නැවුම් ව පිළිගැනීමට පෙළ ගැසෙමු. ඒ වෙනුවෙන් ThePapare.com හී සුබ පැතුම්! 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<