දසුන්ගෙන් ගිලිහුණු නායකත්වයේ මතක සටහන්

Dasun Shanaka Captaincy Record

226

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එළඹෙන සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම නව නායකයින් දෙදෙනෙකු හට ලබා දීමත් සමඟින් හිටපු නායක දසුන් ශානකගේ ධුර කාලය නිමාවට පත් වුනා.

නිමා වූ එක්දින ලෝක කුසලානය අතර මැද ආබාධයක් හේතුවෙන් දසුන්ට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වූ පසු වැඩ බලන නායක ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් හට එළඹෙන සිම්බාබ්වේ තරගාවලියේ එක්දින නායකත්වය හිමි වී තිබෙනවා. එමෙන්ම වනිඳු හසරංග නව විස්සයි විස්ස නායකයා ලෙස නම් කර තිබෙනවා.

දසුන් ශානක පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ 2019 වසරේ දී වන අතර එහි දී ඔහු අත්දැකීම් බහුල පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේ දේශයේ දී ම තම යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින් තරග 3-0ක් ලෙස විස්සයි විස්ස තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ඉන් වසර දෙකකට පසුව ශානක ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වල නිත්‍ය නායකයා බවට පත් වූ අතර ඉන් පසුව ඔහු විසින් එක්දින තරග 41ක දී ශ්‍රී ලංකාව මෙහෙයවනු ලැබුවා.

මෙහි දී ඔහු විසින් එක්දින තරග 23ක් ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 57.50%ක් වැනි ඉහල අගයක රැඳී තිබුණා.

ඔහු විසින් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව 2022 වසරේ දී තරග 3-2ක් ලෙස එක්දින තරගාවලියක් ජයග්‍රහණය කරවීමට සමත් වූ අතර එය ශ්‍රී ලංකාව විසින් වසර තිහකට පසු ද්විපාර්ශවික තරගාවලියකින් ඕස්ට්‍රේලියාව පරාජය කළ පළමු අවස්ථාව ලෙසයි සටහන් වුනේ.

එමෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දී එක්දින තරගාවලියක් ජයග්‍රහණය කරවීමට සහ සිම්බාබ්වේ හි පැවැත්වුණු 2023 ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ද අපරාජිත ව ජයග්‍රහණය කරවීමට දසුන්ගේ නායකත්වයට හැකියාව ලැබුණා.

මේ අතර විස්සයි විස්ස තරග 48ක දී ශ්‍රී ලංකාව මෙහෙයවූ දසුන් ඉන් තරග 22ක් ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර එහි ජයග්‍රාහී ප්‍රතිශතය 47.91%ක් ලෙසයි සටහන් වුනේ.

ඔහුගේ විස්සයි විස්ස නායකත්වය යටතේ ලද විශිෂ්ටතම ජයග්‍රහණය ලෙස 2022 ආසියානු කුසලාන ජයග්‍රහණය හඳුන්වා දිය හැකියි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ වසර අටක ආසියානු කුසලාන ශූරතා නියඟය ද නිමා කරවීමට සමත් වුනා.

මීට අමතරව ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දී ලද විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය ද දසුන්ගේ නායකත්වය යටතේ සටහන් වූ සුවිශේෂී ජයක් ලෙස හඳුන්වා දිය හැකි.

දසුන්ගේ නායකත්ව දක්ෂතා කෙතරම් ඉහළ මට්ටමක රැඳුණ ද සිය අවසන් තරග කිහිපයේ ම ඔහු පිත්තෙන් එතරම් සාර්ථක වනු දකින්නට ලැබුණේ නැහැ. විශේෂයෙන්ම සිය අවසන් එක්දින ඉනිම් 19ට ම ඔහු විසින් වාර්තා කිරීමට සමත් වී තිබුණේ එක් අර්ධ ශතකයක් පමණයි.

කෙසේ වෙතත් ඔහු එළඹෙන සිම්බාබ්වේ තරගාවලිය සඳහා නම් කල මූලික සංචිත ද්විත්වයට ම නම් කිරීම මගින් පැහැදිලි වන්නේ දසුන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අහිමි වුව ද නව තේරීම් කමිටුව තවමත් දසුන් සතු තුන් ඉරියව් දක්ෂතා පිළිබඳ විශ්වාසය තබා ඇති බවයි.

දසුන්ගේ නායකත්ව දක්ෂතා;

එක්දින

තරග ජයග්‍රහණ පරාජයන් විසඳුමක් රහිත ජයග්‍රාහී ප්‍රතිශතය %
41 23 17 1 57.50

 

විස්සයි විස්ස

තරග ජයග්‍රහණ පරාජයන් සම ජයග්‍රාහී ප්‍රතිශතය %
48 22 24 2 47.91

 

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<